Saturday, May 6, 2017

මතකාවර්ජනා



              මේ මතකාවර්ජනය දුහුදුන් සොයා සෙවණ දුන් රජරට වනස්පතිය පිළිබඳවයි. ඔහු රජරට කලා අඹරට පෑයූ සෞම්‍ය සඳයි. තුරුවදුලු, ලියගොමු අතර තම ප්‍රඥාවේ ආලෝකය විහිදුවා හළ මේ මහා කලාකරුවා නේකවිධ ගැහැට විඳි රජරැටියන්ගේ දුක්ඛ දෝමනස්ස පසෙකින් තබා දසත සැඟවි සිටි තරු කැකු`ඵ දැය සරසන දීප්තිමත් තරු බවට පත් කරන ලදී. අද අප සොයා යන්නේ ඔහුගේ වත ගොතයි. මොහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙනගන්නා කාලයේ සිටම පුවත්පත්වලට සහ ගුවන් විදුලියේ ළමා පිටියට සම්බන්ධ විය. ප්‍රවීණ කවියෙක්, ගීත රචකයෙක්, නාට්‍යකරුවෙක්, ගුවන් විදුලි සන්නිවේදකයෙක් වගේ ම ජනශ්‍රැති පර්යේෂකයෙක් වන ඔහු නමින් ස්වර්ණ ශ්‍රී බණ්ඩාර නම් විය. පොඩි මිනිසුන් අතර සිටි පොඩි මිනිසෙක් විදිහට ස්වර්ණ ශ්‍රී හැඳින්විය හැකි ය. නවක ගී පද රචකයන්, ගායක ගායිකාවෝ, සංගීතවේදීන් ජාතික තලයට ඔසවා තැබීමේ අදිටනින් විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ පුරෝගාමියෙක් ලෙස ස්වර්ණ ශ්‍රී බණ්ඩාර ගුවන් විදුලි වංශ කතාවට එක්විය. ස්වර්ණ ශ්‍රී බණ්ඩාර කලා ක්ෂේත්‍රයේ විවධ මං පෙත් ඔස්සේ ප්‍රතිභාව දැල් වූ සාර්ථක සන්නිවේදකයෙකි. මානවීය ගුණයෙන් පිරිපුන් සුපහන් සිත් ඇති නිර්භීත නිර්මාණ ශිල්පියෙක් වන ඔහු විශිෂ්ටයෙකි. ස්වර්ණ ශ්‍රී ප්‍රභූන්ගේ, නාගරිකයන්ගේ පමණක් නොව ගමේ ගොඬේ දුප්පතුන්ගේත් හද බැඳි මිතුරෙකි. ඔහුට සමාජ තරාතිරම උස් මිටිකම් වැදගත් නොවුනි. රජරට පොදු ජනතාවගේ සිනහව මෙන් ම කඳුළ ද එතුමා පිළේ පැදුරටරැගෙන ආවේ ඒ නිසා ය. ඔහු ඇත්ත කියන්නට බිය වූයේ නැත. ඔහු පැත්තක් ගියත් ඇත්ත කියන්නට බය නැති මිනිසෙකි. කට කෑවත් ඇත්ත කියන්නයි ඇත්ත කියා බිම ඉඳගන්නයි ඔහු කිසිවිටෙක පසුබට වූයේ නැත. සාර්ථක සන්නිවේදකයෙක් නිතරම පොදු ජනතාවට අයත් මහපොළොවේ පයගසා සිටී. ඔහු ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ ද පොදු ජනතාවට අයත් වායු ස්කන්ධයයි. ඒ නිසාම ඔහුගේ හෘද ස්පන්දනයෙහි රිද්මයද පොදු ජන දුක සැප අනුව උස් පහත් වෙයි. පොදු ජන ශ්‍රාවකයා හා සන්නිවේදකයා අතර සම්බන්ධතාව වඩාත් ප්‍රශස්ත තලයකට සංක්‍රමණය වන්නේ ඔවුනොවුන් අතර හුවමාරු වන භාෂා මහිමයෙනි. පොදු ජන සන්නිවේදකයෙක් පළමුවෙන් මෙම බස හඳුනාගත යුතුයි. මෙම විශිෂ්ටත්වය සාර්ථකත්වය ස්වර්ණ ශ්‍රී තුළ කැපී පෙනුනි. ඔහු ගම දකින මාධ්‍යකරුවෙක් ලෙස ගැමි දැනුම් කෝෂ්ඨාගාරයකි. 70 දශකයේ මැද භාගයේ පමණ ගීත රචකයෙකු ලෙස ගෞරවය දිනාගත් ස්වර්ණ ශ්‍රී බණ්ඩාර සාමා චිත්‍රපටයට ගීත රචනා කිරීමෙන් ඒ ක්ෂේත්‍රයට එක් විය. ප්‍රතිභා සම්පන්න කවියෙකු වූ ස්වර්ණ ශ්‍රී කවියේත්, ගීතයේත් වෙනස මැනවින් වටහා ගත්තේ ය. ගීතයේ අන්තර්ගතයට උචිත ආකෘතිය තෝරා ගැනීම ඔහුගේ ගීතවල දැකිය හැකි විශේෂ ලක්ෂණයකි. ඔහු විසින් සාමා චිත්‍රපට රචනා කරන ලද්දේ  ආශා දෑසින් දකිනා සිහිනේගීතයයි.

             
              සම්භාව්‍ය සාහිත්‍ය මෙන් ම නූතන සාහිත්‍යයත් විශේෂයෙන් ගැමි සාහිත්‍යයත් අධ්‍යයනය කළ ඔහු සිය ප්‍රතිභාව වඩා රසවත් කරගැනීමට පාලි, සංස්කෘත වැනි පෙරදිග භාෂාවලින් ලද ආභාෂය ද ඉවහල් කරගනී. ගුවන් විදුලියේ ළමා පිටියේ මෙන් ම යෞවන සමාජයේ ද බාලවියේ සිටම ලත් පුහුණුව ප්‍රතිභාප්‍රර්ණ ගීත රචකයෙකු බිහි කිරීමට ඉවහල් වූ බව සැක නැත. රජරට ගුවන් විදුලි සේවයෙන් උසස් රසික පිරිසක්, ගායක ගායිකාවන් හා ගීත රචකයින් පිරිසක් බිහි කිරීමේ ගෞරවය ස්වර්ණ ශ්‍රී ට හිමි වෙයි. වෘත්තියෙන් ගුවන් විදුලි ශිල්පියෙක්ව සිටියත් ස්වර්ණ ශ්‍රී කිසිම දිනක ගායක ගායිකාවන් පසුපස ගියේ නැත. ඔහු ගමේ තිබූ මුල් සම්ප්‍රදායේ තිරසාරව පිහිට වූ සැබෑ ජන කලාකරුවෙකි. යම් පුද්ගලයෙක් ඔහුගෙන් ගම කොහේ දැයි ඇසූ විට ඔහු අපි වන්නියේ එවුන්යැයි කීමට ඔහු පුරුදු වී සිටියේ ය. අවුරුදු 11ක පමණ කාලයක් ස්වර්ණ ශ්‍රී රජරට ගුවන් විදුලියේ සේවය කරන ලදී. එහිදී ඔහු ඉදිරිපත් කළ පිලේ පැදුර, සංහිඳ, සම්භාෂා, නිර්මාණ, එක්තැන් සවිය හා රචනා මු`ඵුවයනාදි වැඩසටහන් ඉතාම විශිෂ්ට මට්ටමක තිබුණි. පිලේ පැදුරරජරට සේවයේ ජනප්‍රියම විචිත්‍රාංගය ලෙස වාර්තා වෙලා තිබේ. ඒ අතරම එතුමා පොත්පත් ලිවීමත් කරන ලදී. සල්මල්, පරපුටුවෝ, ගැමි දිවිය සහ වප් මඟුල, සකිසඳ බලව, කැදැල්ලේ කුරුල්ලෝ සහ සංහිඳවැනි පොත් කිහිපයක්ද එතුමා රචනා කරයි. ඒත් බොහෝ දෙනෙකුට ස්වර්ණ ශ්‍රී බණ්ඩාර අමතක තිබේ.. නව පරපුර ඒ කවුද කියලාවත් නොදනි. ස්වර්ණ ශ්‍රී බණ්ඩාර කියන්නේ අපේ පිනට පහළ වූ කෙනෙකි. ගීත රචකයෝ, කවියෝ, ලේඛකයෝ, නාට්‍යකරුවෝ විතරක් නෙවෙයි චිත්‍ර ශිල්පීන්, කැමරා ශිල්පීන් වැනි සියලු කලාකරුවන්ට එතුමාගෙන් පුදුමාකාර සේවයක් ඉටුවිය. ස්වර්ණ ශ්‍රී බණ්ඩාර ජීවිතය දෙස ගැඹුරින් බැලූ කෙනෙකි. ස්වර්ණ ශ්‍රී ට ලොකු උවමනාවක් රජරට අහිංසක ළමයින්ව ඉහළට ගන්න විශාල උවමනාවක් තිබුණි. ඔහු නිතරම පැවසූවේ මේ අත්වල කරගැට පිපුණ ළමයි කොහෙන් හෝ ඉහළ තැනක ඔසවා තැබිය යුතුය යන්නය. එතුමා ඒ අරමුණ ඇතිව නිතරම වැඩ කරන ලදී. ඔහු ස්වාධීන පුද්ගලයෙකි. ඔහුට විශාල පෞරුෂයක් තිබුණි. ඒ වගේම ඔහු නොබියව සෑම වැඩක්ම ඔහුගේ අරමුණට රැගෙන ගියේ ය. සුභාවිත ගීත සාහිත්‍යයක් කෙරෙහි ඔහුගේ දායකත්වය සැබැවින්ම ස්වර්ණමය සිහිවටන සහිතයි. ඔහු විසින් රචිත එම පදවැල් තුළ කැටිකොට තිබුණු අපේකම ආයාසයෙන් එබ්බවූවක් නොව. තමන් ඇසූ, දුටු, අත්විඳි සකලවිධ ජීවන ප්‍රවෘත්තීන් පොදු මානවීය දෘෂ්ටියට හසුකරවන්නට ඔහු ගත් උත්සහය විශද කෙරෙනුයේ එම ගී පදවැල් තුළිනි. එතුමා විසින් ලියූ ගීත ස්වල්පය තුළ ගීත කිහිපයක් රසික ප්‍රසාදය නොමඳව දිනාගන්නා ලදී.මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී, දෑතේ එල්ලී මියුරු කතා කීවැනි ගීත ඊට නිදසුන් වේ.

             ගුවන්විදුලි සන්නිවේදකයෙක් ලෙස ස්වර්ණ ශ්‍රීගෙන් වැඩිම මෙහෙවරක් සිදු වුයේ රජරට ගුවන්විදුලි සේවයටයි. රජරට සේවයේ සාර්ථකත්වයේ රහස ස්වර්ණ ශ්‍රී බව බොහෝ දෙනා ප්‍රකාශ කරයි. මේ ප්‍රාදේශීය ගුවන්විදුලිය රජරට ජනතාවගේ සිත් තුළට සේන්දු වීමෙහිලා ස්වර්ණ ශ්‍රීගෙන් ලැබුණු දායකත්වය කෙසේද යන්න රජරට සේවයට දහතුන් වසරක් පිරුණු දා පළ වූ සමරු සටහන් තුළින් දැක්විය හැකි ය. එහිදී ප්‍රකාශ කර ඇත්තේ ප්‍රාදේශීය ගුවන්විදුලි සේවාවක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පොදු ජනතාවට සමීප, ඔවුන්ගේ දුක හා සතුට මුසු වූ එකක් මෙන් ම විවිධ තොරතුරු සහ පණිවුඩ මඟින් ඔවුන් දැනුවත් කරන ජනමාධ්‍ය ආයතනයක් ද විය යුතුය යන්නයි. එය කොළඹ ගුවන්විදුලියේ ම ආකෘතියක් විය යුතු නැත. අසන්නන් හා දෙඩිය යුත්තේ ඔහුගේ ම පිලේ සිට ඔහුගේ ම ගොවි බිමේ සිට කතා කරන ලෙන්ගතු ලීලාවෙනි. රජරට ජනවහර පිළිබඳ මනා වැටහීමක් තිබූ ස්වර්ණ ශ්‍රී ගේ වැඩසටහන් එදා ඉතා ජනප්‍රිය වූයේ මේ රහස ඔහු හොඳින් අවබෝධ කොටගෙන තිබූ බැවිනි. අද එවැනි වැඩසටහන් නැත්තේ එවැනි දැනුමැත්තන් අප අතර නොමැතිකම නිසාවෙනි”. ස්වර්ණ ශ්‍රී ගේ පුරප්පාඩුව අදත් එලෙසම නොවේ ද? ඔහු ගමෙන් උකහාගත් දැනුම් සම්භාරය මෙන් ම භාෂාමය හැකියාව විසින් රජරට සේවය ජීවත් කරවනු ලැබූ බව අතිශයෝක්තියක් නොවේ. ආන්ද්‍ර ප්‍රදේශයේ ද්‍රවිඩයන්ට අණ්ඩර දෙමළ වූවා සේ කොළඹ ගුවන්විදුලියෙන් ආ පිරිසට ද රජරට ජනතාවට කතාකළ වහර අණ්ඩර දෙමළ වූ අවස්ථා ද එමටය. එහෙත් වන්නි බස ගැන මනා හුරුවක් තිබූ ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන්ට මේ ඌනතාවෙන් මිදෙන්නට ඉතා පහසු විය. පිළේ පැදුරේ අත්තප්පා මෙන් ඇඳගත් ස්වර්ණ ශ්‍රී අමුඅමුවේ දෙසාබෑවේ වන්නි බසයි. එවක රජරටට යාබදව සොකරියක්, කෝලමක්, බලියක්, තොවිලයක්, කංකාරියක්, කයියක්, අත්තමක් වී නම් ඔහු එය දැන සිටී. රජරට ඔහු පය නොගැසූ ඉසව්වක් සොයා ගැනීම පවා අපහසුයි. ගමේ ගොඬේ වෙල්යාය වගේම චිරන්තන සාහිත්‍යය ද ඔහුගේ පර්යේෂණාගාරය බවට පත්විය.   ලෝකයෙන් ඉගෙන ලෝකයට උගන්වන්නා සැබෑ සන්නිවේදකයාය. සිය අසල්වැසියා මෝහනයෙන් මුදවා ප්‍රඥාලෝකය කරා රැගෙන යන්නට ඔහුට පු`ඵවනි. ස්වර්ණ ශ්‍රී බණ්ඩාර නම් සන්නිවේදකයා එකී සමාජ නියාමකත්වයෙහි පෙර ගමන් හෙබ වූ බව අතිශයෝක්තියක් නොවේ. එම ප්‍රතිභාපූර්ණ සන්නිවේදකයා 1989 දී අපෙන් සදහටම සමුගන්නා ලදී. මේ පොදු මිනිස් සමාජයේ සුගතිය අපේක්ෂා කළ සැබෑ සන්නිවේදකයෙකුගේ සුපැහැදිලි පිළිබිඹුවකි. 




3 comments:

සංඛපාල විහාරය

සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අටකළං කෝරළයේ, තඹගමු පත්තුවේ, සංඛපාල ග්‍රාම නිලධාරි වසමේ පි...