![]() |
මේ දසත පැතිර යන්නේ කුමන දුර්ගන්ධයක් දැයි බැලීමට සිතා
කවුළුව සමීපයට ආ මට මාගේ දෑස් අදහාගත නොහැකි විය. මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටුනා
පමණි එහි රස්නෙවත් යන්න කලියෙන් මෙන්න තවත් කුණු කන්දක් මේ කවුළුව අසල. මාගේ දෑස්
අදහාගත නොහැකි වූයේ සිදු වූ විපත්තිය දැන දැනත් නැවැත මෙලෙස කුණු කන්දක් ගොඩගැසුවේ
මන්දැයි මටම ප්රහේලිකාවකි. ඒ විතරක්ය ඒ අවට තිබූ මහා රූස්ස ගස්කොළන් දැන් දැකගන්නවත්
නැත. අද ඇත්තේ දස අතම පැතිරී යන මහා කුණු කන්දක් පමණි. පවතින වැසි සහිත කාලගුණය නිසාම
එහි දුර්ගන්ධය සතර දෙස පැතිරී තිබේ. මිනිසා ඉවතලන දෑ නිසියාකාරව බැහැර කරයි නම්
මෙලෙස කුණු කඳු ගොඩගැසෙන්නේ නැත. මා හට වර්තමාන මිනිස් පැවැත්ම ගැන ඇතිවන්නේ කලකිරීමකි.
ස්වභාවධර්මය පවා මෙම මිනිස් පැවැත්ම ප්රශ්නයට ලක් කරයි. ඒ බව සොබාදහමේ හැසිරීම පවා
අපට කියාපායි. ගිනි කන්දක් ඇඟ මත පතිත වූවා සේ මහා ගිනි කාෂ්ටක අව්ව යටපත් කරමින්
දැන් පැමිණ තිබෙන්නේ අනෝරා වැහි ඇද හැලෙන කාලයයි. අද මිනිසා පුරුදු පුහුණු වී
ඇත්තේ තමාගේ වැඩේ පමණක් නිවරදිව කරගැනීමටයි. ඉන් පසු කුමක් වුවත් කම් නැත යන්න
ඔවුන්ගේ අදහසයි. තම සුඛ විහරණය ගැන පමණක් සිතන ආත්මාර්ථකාමී මිනිසුන් ලෙස ජීවත් වන
අපට කවදා නම් මේ සොබා සුන්දරත්වය විඳින්නට ලැබේවිද? මහපොළොවට ආදරයක් නැති සතා
සීපාවට සෙනෙහසක් නැති තම සහෝදර මිනිසාට ආදරය කළ නොහැකි මේ මිනිසත් බව ලැබූ හිත් පිත්
නැති මිනිසුන්ට ආදරය, කරුණාව, සෙනෙහස, දයාව වැනි ළතෙත් සෙනෙහෙබර හැඟීම් ඇති හදවතක්
උරුම කළ දිය යුතුය. යුද්ධයෙන්, නායයෑම්වලින්, කුණු කඳු කඩා වැටීමෙන් මිනිසුන් සිය
ගණන් එකවර මහ පොළොව යට වැළලෙද්දී තවත් කතා කිරීමෙන් පලක් නැත. අතීත මිනිස්
ශිෂ්ටාචාරයේ දී අප පරිසරය දේවත්වයෙන් සලකා තිබේ. වත්මන් මිනිසා අන් සියල්ලට වඩා
ධනය වැදගත් කොට සලකයි. එවන් සමාජයක පරිසරය යනු තවත් එක් වෙළඳ භාණ්ඩයක් පමණි.
ඇමෙරිකානු රතු ඉන්දියානු නායක සියටෙල් ඉදිරිපත් කළ ප්රකාශන
අද අපට කෙතරම් වැදගත් වේ ද?
"සිය දෙපා යට පිහිටි මහ පොළොවෙහි අපගේ මුතුන්
මිත්තන්ගේ සොහොන් අළු ශේෂව ඇති බව ඔබේ දරුවන්ට කියාදෙන්න. අපගේ ඥාතීන්ගේ
ජීවිතවලින් මහ පොළොව සරු සාර වී ඇති බව ඔබේ දරුවන්ට කියාදෙන්න. එවිට ඔවුන් භූමියට
ගරු කරනු ඇත. අපගේ දරුවන්ට මහ පොළොව අපගේ මාතාව බව කියාදුන් බව ඔබ ඔබේ දරුවන්ට
කියාදෙන්න. මිහිකතට සිදුවන කුමන අවාසනාවන්ත දෙයක් හෝ එහි දරුවන්ට සිදු වනු ඇත. මෙම
භූමිය මිනිසුන් විසින් කෙලෙසා දැමුවහොත් ඉන් සිදුවන්නේ ඔවුන් තමාම කෙලෙසා ගැනීමක්
බව සලකන්න. මේ බව අපි දනිමු. එකම ලෙයකින් එක පවුලක සියලු දෙනා බැඳ තබන්නාක් මෙන්
සියලු දේ එකම හුයකින් බැඳී පවතී. මිහිකත මත ඇති ජීව ජාලය මිනිසා විසින් ගෙතූවක්
නොව. ඔහු එහි එක් හුයක් පමණි. මෙම ජීව ජාලයට ඔහු විසින් කරන සෑම දෙයක්ම ඔහු තමාට ද
කරගන්නා දෙයක් බව මතක තබාගන්න."
එතුමා විසින් ප්රකාශ කළ කියමන් අද සිදුවෙමින් පවතී. අප
නැවැත හැරී බලන විට අපට එය දැකගත හැකිය. නායයනවා, ගංවතුර ගලනවා, නියඟය ඇතිවෙනවා
කියමින් අප සොබාදහමට දොස් පවරන්නෙමු. ගස් කොළන් කපා විනාශ කරමින්, කැලි කසල යන යන
තැන තැන දමමින් කුණු කඳු පිටින් ගොඩගසාගන්නා අප අනුන්ට දොස්පවරයි. ඒ මිනිසාගේ
පුරුද්දය. නමුත් අප අපගේ වැරැද්ද භාරගන්නා තාක් සොබාදහම අපට කීකරු නොවේ. ඉතිං අප
තව දුරටත් පාරම් බෑමේ ප්රතිඵලයක් නැත. ඒ නිසා අප අදම නිවරදි වෙමු. අනාගතය
වෙනුවෙන් සුන්දර ශ්රී ලංකාවක් ඉතිරි කරන්නට නම් අපි අපේ මිහිමවට ආදරය කරමු. සැමදා
නන්දොඩවනවා සේ වචනයෙන් නොවේ ක්රියාවෙන් එය කර පෙන්වමු. අනාගතයේ සුව සේ විසිය හැකි
සුන්දර ලංකාවක් නැවත ඇති කරමු.
No comments:
Post a Comment