කලාව යනු දැවැන්ත සන්නිවේදන කාර්යයක් කිරීමට සමත් මාධ්‍යයකි. කලාව තුළින් මනස සමාධි ගත කරන අතරම සමාජය දෙස පුළුල් බැල්මක් හෙළීමට සමත් අපූරු හැකියාවක් ද ඇත. කලාව කලාව සඳහා කීවද එය තුළින් ඉටුවිය යුත්තේ ජනතාවාදී මෙහෙවරකි. මිනිස් සිත ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන ඒමට කලා කෘති තරම් ප්‍රබල මෙවලමක් මිහිපිට නොමැත. ගීතයක් යනු මානව හැඟීම් නිර්මාණාත්මකව පුබුදු කිරීමකි. ගීතයක් භාව ප්‍රකාශනයක් ලෙසද හඳුන්වාදිය හැකිය. ගීතයක මට සිලුටු බව බිඳිමින් විරෝධාකල්ප ශෛලිය මෙරට බිහිවූයේ 80 දශකයේ ය. ලෝකය පුරා මහත් ජනාදරයට පත් ගායන ශිල්පීන් වූ බොබ්මාලේ, බොබී ඩීලන්, වික්ටර් හාරා, ජෝන් ලෙනන් වැන්නන් තෝරා ගත්තේද ජනතාවාදී සංගීතය ඉක්ම වූ විරෝධාකල්ප ගීතයයි. විරෝධාකල්ප ගීත බොහෝ විට ගායනා කරන්නේ සීමා සහිත ස්ථානවලය. බොහෝ විට සමාජ අසාධාරණය, සමාජ විෂමතාවය සහ දුර්වලතා යනාදිය විරෝධාකල්ප ගීතවලට ප්‍රස්තූත වී තිබේ. ගීතදේව එවැනි විරෝධාකල්ප ගීතවලට හිමිකම් කියන්නෙකි. ඔහු තම ප්‍රසංගවලදි කියන ආකාරයට රැප් සංගීතය බිහිවන්නේ විරෝධාකල්ප ගීත ආකාරයෙනි. ඇමරිකානු කලු ජාතිකයින්ට සුදු ජාතික සමාජයෙන් එල්ල වූ පීඩනය, වර්ගවාදී නොසලකාහැරීම්, අඩන්තේට්ටම් පිළිබඳ කලු ජාතිකයින්ගේ විරෝධය ඔවුන් රැප් සංගීතය හරහා සමාජයට එල්ල කර තිබේ.
අපේ රටේද මෙවැනි විරෝධාකල්ප ගීත රාශියක් නිර්මාණය වී තිබේ. අප රට තුළ ජනතාවාදී කලාවේ නිමග්න වූ අතළොස්සක් තරම් පිරිස අතර නන්දා මාලනියට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. පුද්ගලයෙක්ට සෘජුව කීමට නොහැකි දේ කලාකරුවෙක් තම නිර්මාණය හරහා සමාජයට ගෙන ඒම විරෝධාකල්ප ගීතවල දක්නට ලැබේ. ජයතිලක බණ්ඩාර, රත්න ශ්‍රී විජේසිංහ, සුනිල් ආරියරත්න, නන්දා මාලනී, විජේකුමාරණතුංග, ගුණදාස කපුගේ, කරුණාරත්න දිවුල්ගනේ සහ සුනිල් එදිරිසිංහ වැනි විශිෂ්ට කලාකරුවන් ද මෙම විරෝධාකල්ප ගීතවලට හිමිකම් කියන්නේ ය. එදා පවන සහ කම්පනය යනාදි විරෝධාකල්ප ගී කැසට් පට තහනමට පවා ලක් විය.
භාවිත ගීතයක් ලෙස ගීතයක් හඳුන්වන්න පුළුවන් වෙන්නේ හොඳ සාහිත්‍යයක් සහ හොඳ තනුවක් සහ හොඳ ගායනයක් සමබරව එක්තැන් වූ විටයි. එවැනි ගීත එක රැයකින් ශ්‍රවණය කර නිමා කිරීමට හැකි ගීත නොවේ. ඒවා දිගු කාලයක් පුරා මිනිස් ආධ්‍යාත්මය පෝෂණය කරමින් එය වෙනස් කරන නිර්මාණ වන බවයි. එවැනි ගීත තාවකාලික විනෝදාස්වාදය පිණිසම රචිත නිර්මාණ වෙන්නේද නැත. මෙරට සංගීත ක්‍ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කළ ගායන ශිල්පියෙක් ලෙස සුනිල් එදිරිසිංහයන්ට මෙරට ජනතාව විසින් කිරුල පිරිනමා ඇත. ගීතයෙන් ජන විඥානය අවධි කිරීමට සුනිල් එදිරිසිංහයන්ට ශක්තියක් වූයේ රත්න ශ්‍රී විජේසිංහයන්ය. විරෝධාකල්ප ගීතයක් ලෙස මා තෝරාගත් ගීතයෙහි පද සංකලනය කරනු ලැබූයේ රත්න ශ්‍රී විජේසිංහයන්ය. සුගායනය සුනිල් එදිරිසිංහයන්ගේ වන අතර ස්වර රචනා කළේ ආචාර්ය රෝහණ වීරසිංහ කලාකරුවාය.
කවියෙක්, සාහිත්‍යධරයෙක් සහ ගේය පද රචකයෙක් වන රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් සිංහල ගීත සාහිත්‍යයට දායාද කළ ගීත බොහෝමයක් සමාජයට යම් පණිවිඩයක් දෙන ලෙස රචනා කළ ගීත වේ. ටෝල්ස්ටෝයිට අනුව කලාකරුවා යනු සුනිමල දිය දහරකි. සුනිල දිය දහරක් කියන්නේ ඉතා පිරිසිදු පවිත්‍ර දිය දහරකි. මෙම උපමාව රත්න ශ්‍රී විජේසිංහ මහතාට මනාව යෝග්‍ය වේ. රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචනා කරන ලද “හත්මුහුදින් එපිට ගුගුරුවා” ගීතය මේ සඳහා පාදක කරගන්නා ලදී.
රත්න ශ්‍රී විජේසිංහ මහතා මෙම ගීතයට පද සංකලනය කරන්නේ බටහිර අධිරාජ්‍යවාදී යටත් විජිත පාලන සමයේ දී ය. බටහිර අධිරාජ්‍යවාදී යටත් විජිත පාලන යුගයේ දේශයේ සිදු වූ විනාශය පිළිබඳව වාර්තාමය ස්වරූපයෙන් රචනා වූ ගීතයකි. සරල සිංහල භාෂා රීතියෙන් පද ගැළපුම සිදු කරන මෙම ගීතය දේශීයත්වය ආරක්ෂා කර ගැනීමට සමාජය පොළඹවන බලපෑම්කාරකයක් ලෙස හඳුනාගත හැකිය. ලංකාවට සිදු වූ අනර්ථයන් පිළිබඳව මෙම ගීතයෙහි අන්තර්ගතව පවතී. රත්න ශ්‍රී ගේ ගීත අන්තර්ගතයේ පවතින්නේ දුක් විඳින ජනතාවගේ දුකය. කඳුළය. මෙම ගීතයේ ද මෙරට අධිරාජ්‍යවාද යටත් විජිතයක් සේ පවතින සමයේ ශ්‍රී ලාංකිකයා විඳින දුක් ගැහැට පිළිබඳවත් ඔවුන් සුදු මහත්වරුන්ගේ වහලන් බවට පත් වී ඇති බවත් කියාපායි. නමුත් රත්න ශ්‍රී එම දුක ඉදිරිපත් කරන්නේ සෞන්දර්යාත්මකවය. සෘජු බෝඞ්ලෑලී විරෝධතා, පුවරු පිකටින් ක්‍රමයට නොවේ. ඔහු එවැනි උපහාසාත්මක දේ වුවද දැඩිව ද්වේෂයෙන් නොව සංවේදීව හා නිර්මාණාත්මකව ඉදිරිපත් කරයි. තම මව්බිමේ වැසියන් බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ගැත්තන් බවට පත්වීම මෙන් ම තම භව බෝග සම්පත් විනාශ කරමින් සිටින මෙවන් යුගයක රත්න ශ්‍රී සිය පද රචනයේ දී ආවේගශීලී නොවී ඉතා සංයමයෙන් පද එකිනෙකට අමුණයි. නමුත් ඔහු අවැසි සියල්ල තම පද පේළියට බද්ධ කරගනී. ඒ ලියන සංයමය තුළ විරෝධාකල්පය දක්නට ලැබේ. රත්න ශ්‍රී විජේසිංහට මෙම ගීතය රචනා කරන විට පරසුද්දා යැයි ආමන්ත්‍රණය කිරීමට අසීමිත නිදහසක් ඔහු සතු විය. තම මාතෘ භූමිය සූරාගෙන කන සුදු මහත්වරුන්ට එසේ ආමන්ත්‍රණය නොකර ඉතාමත් සංයමයෙන් ගීතයට ප්‍රවිශ්ට වී මනා රචනා ශෛලියකින් ගීතය ගලා යාමට සලස්වා ඇත.
මෙම ගීත සංකල්පනාවට පාදක වී අත්තේ අධිරාජ්‍යවාදීන්ට ඇති විරෝධතාවයයි. අතීතයේ ඇන්. ඇම් පෙරේරා සහ කොල්වින් ආර් ද සිල්වා වැනි දේශපාලන නායකයින් වාමාංශික ව්‍යාපාර හරහා අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව දියත් කළ සටන් පිළිබඳව විමසද්දී බොහෝ දුරට කාලතුවක්කු, ඇත්දත්, ගම්මිරිස්, කුරුඳු, මැණික්, වැව්, දාගැබ්, කෝපි, තේ, රබර් වැනි දේ එම සටන් බිමේ පසුබිමේ සුලභව දක්නට හැකිය.
රත්න ශ්‍රී මෙම ගීත සංකල්පනාව තම සිත අරක්ගත් ආකාරය මෙසේ ප්‍රකාශ කළේය. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීතවේදියාණන් සංගීතවත් කළ “නාඳුනන පුත්තු” රූපවාහිනි නාට්‍ය සඳහා විරිදු ගායනයක් රචනා කිරීමට මට ආරාධනා කෙරුණු දිනකදි තමා මම මුලින්ම මෙම සංකල්පනාව රචනා කරනු ලැබුවේ. අධිරාජ්‍යවාදීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව පැවසෙන අයුරින් එදා මා රචනා කළ විරිදු ගායනය ඉතා දිගු එකක් විය. පසු කාලයකදි මා සිතුවේ එම විරිදුව පොඩි වෙනස්කම් කොට ගී පද රචනයක් ලෙස සකස් කර සුනිල් එදිරිසිංහ මහතාට දීමටය. එදා වගේම අදත් අධිරාජ්‍යවාදීන් මෙරට ඔවුන්ගේ පාලනයට යටත් කරගන්නට වෑයම් කරයි. එදා සෘජු යටත් විජිත වාදය අද නව යටත් විජිත වාදයයි. මෙම ගීතය අවසානයේ ඇති “අදත් එනවා රට කරන්ඩ” යෙදුම ඉතාමත් උචිත ලෙස යෙදුවේ සුනිල් එදිරිසිංහ නිර්මාපකයා විසින්මයි. එම යෙදුමෙන් මේ ගීතයට සර්ව කාලීන අගයක් එකතු වී ඇති බව එතුමා තව දුරටත් ප්‍රකාශ කළේ ය.
“හත් මුහුදින් එපිට ගුගුරුවා බතරොයි උගුරු දණ්ඩ
හත් දෙයියන් බලා ඉද්දී සුද්දෝ ආවේ රට කරන්ඩ
මහත්වරුනි දන්නවාද සුද්දෝ ආවේ රට කරන්ඩ ”
බුදුන් දෙවියන් වැඩ වාසය කරන මේ සිරිලක් ද්විපයට මුහුදු කැළඹිය හැකි කාලතුවක්කු වැනි ගිනි භට රැගෙන සුද්දන් ආවේ අපේ රට පාලනය කරන්නට බව දක්වයි. රත්න ශ්‍රී ආවේගශීලී නොවී ඉතා සංයමයෙන් ගීතය කළා වුවද එතුමාගේ වාග් කෝෂය විටකදි දැඩි බවක් ඇති කරවයි. “බතරොයි උගුරු දණ්ඩ” යනුවෙන් ඔහු දක්වන්නේ කාලතුවක්කුවයි. එමඟින් සුදු ජාතිය ඉතා රෞද්‍ර බව පෙන්නුම් කරයි. ගීතයට ප්‍රවිශ්ට තැන පටන්ම ඔවුන් ශ්‍රී ලංකාව බටහිර රාජ්‍යයේ යටත් විජිතයක් වන බව ප්‍රකාශ කරයි. “හත් දෙයියන් බලා ඉද්දී සුද්දෝ ආවේ රට කරන්ඩ - මහත්වරුනි දන්නවාද සුද්දෝ ආවේ රට කරන්ඩ” මෙවැනි පද පේළිවලින් මෙරටේ උසස් කුලවතුන්ට සිදුවන මෙම විපත පැහැදිලි කරදීමට උත්සහ ගෙන ඇති බව ගම්‍ය වේ. මෙම පද රචනය පමණක් නොවේ මේ සඳහා යොදා ගනු ලබන නාද මාලාව ඉතා විශිෂ්ටය. සුනිල් එදිරිසිංහයන්ගේ හඬ මාධූර්යය මේ ගීතයට සැබැවින්ම යෝග්‍ය වේ.
රත්න ශ්‍රී ගේ පද ගැළපුමට අනුව ඔහු ප්‍රකාශ කරන්නේ සුදු මහත්වරුන් අප රට තුළ තිබූ භව බෝග සම්පත් ඇත්දත්, ගම්මිරිස්, කුරුඳු, මැණික් යනාදිය රැගෙන ගොස් ඒවා මුදලට මිල කරන බවයි. මෙරට ජනතාවගේ ආර්ථිකත්වය, සාමාජිකත්වය මෙන් ම නිදහස සූරාගෙන කන බව මෙලෙස දක්වා තිබේ.
“ඇත් දත් ගම්මිරිස් කුරුඳු මැණික් අරන් එතෙර යන්ඩ
ලක් මවුනගේ දරු පැටවුන් වාල්කමේ තියාගන්ඩ”
ලක්වාසී ජනතාව වහලුන් සේ සිතා උසස් යැයි සම්මත ඒ මහත්වරුන්ගේ වාල්කම් කිරීමට භාවිත කරයි. ශ්‍රී ලාංකික සංස්කෘතික උරුමයන් සභ්‍යත්වය කෙලෙසා දමා යුරෝපීය ජාතිකයන් මෙරට රජවීමට දරන උත්සහය අප රචකයා දක්වා ඇත්තේ මේ අයුරිනි.
“වැව් බිඳ රන්කෙත බිඳලා දාගැබ පිට කොඩි දමන්ඩ
මහත්වරුනි දන්නවාද සුද්දෝ ආවේ රට කරන්ඩ”
සිංහ කොඩිය පාගා දමා තම අනන්‍යතාවය ලක් රාජ්‍යයේ පතුරුවාලීමට සිංහලයා අමනයා යැයි සිතා පහතට හෙළමින් පාලනය කිරීමට සුද්දන් සූදානම් බව ගීතය පුරාවටම සහෘද ජනතාවට සිහිපත් කරන්නේ “මහත්වරුනි දන්නවාද සුද්දෝ ආවේ රට කරන්ඩ” ලෙස ගළපා ඇති ඖචිත්‍ය පද පේළියෙනි. තම රට ජාතියට ගැති වූවෙක් ලෙස රත්න ශ්‍රී අධිරාජ්‍ය විරෝධී සංකල්පය ස්පර්ශ කොට තිබේ. ගීතය පුරාවටම ඇති වාග් කෝෂය, නාද රටාව සහ හඬ තුළින් විරෝධාකල්පීය බව ස්ඵුට වී පෙනේ, හිරු නොබසින රාජ්‍යයේ හිමිකම අප ලක්බිම තුළ තහවුරු කරගන්නට සුද්දන් කරන අමනෝඥ ක්‍රියාකලාපය මෙහි දී ඉස්මතු කර දක්වයි.
“සත්තු වගේ මඬ ගාගෙන දිව කාගෙන බර අදින්ඩ
උත්තම අධිරාජ්ජෙකට ජීවිත පූජා කරන්ඩ
අනේ අපොයි අපිත් ගියා පය පාමුල වාල් වෙන්ඩ
මහත්වරුනි දන්නවාද සුද්දෝ ආවේ රට කරන්ඩ”
පීඩිත ජනතාවගේ දුක කඳුළ සෞන්දර්යාත්මකව ඉදිරිපත් කිරීමට උත්සහ ගෙන තිබෙන බව මෙයින් විද්‍යමාන වේ. යටත් විජිත ශ්‍රී ලාංකික ජනතාව මානසික මෙන් ම ශාරීරික පීඩනයට ලක් වූ ආකාරය මැනවින් ඉදිරිපත් කර තිබේ. යටත් වැසියන් ලෙස වහල්කම් කරමින් සුදු මහත්වරුන්ගේ දරදිය අඳිමින් ජීවිත පූජා කළ ශ්‍රි ලාංකික ජනතාවගේ සිතුවිලි, මනෝභාවයන් හඳුනාගත් රත්න ශ්‍රී ගීතය මෙසේ සමාප්ත රේඛාවකට රැගෙන එනු ලැබේ. “මහත්වරුනි පේනවාද අදත් එනවා රට කරන්ඩ” එම පද පේළියෙන් ඔහුගේ විරෝධාකල්පී මානසිකත්වය විදහා දැක්වේ. එකල සෘජු යටත් විජිත වාදයක් ලෙස පාලනය කළ ශ්‍රී ලංකා භූමිය අද නව යටත් විජිත වාදයක් ලෙස පාලනය කරන බව රත්න ශ්‍රී ගේ අදහසයි.
මෙම ගීතයේ සමාජ අසාධාරණය ඉස්මතු වන බව සැබෑවකි. සුදු ජාතිකයන් මෙරටට පැමිණ මෙම භූමිය අත්පත් කරගනිමින් සිංහලයා කල්ලන් ලෙස හංවඩු ගසමින් තම වහල් සේවයේ යොදවා ගත්තා වූ එම සමාජ විෂමතාවය සියුම් උපහාසයෙන් යුතුව ඉදිරිපත් කරන්නට රත්න ශ්‍රී සමත් වී තිබේ. මෙම ගීතය සැබැවින්ම විරෝධාකල්ප ගීතයකි. මෙහි සමාජ අසාධාරණය, සමාජ විෂමතාවය සහ උපහාසය මනාව ප්‍රතිනිර්මාණය කර ඇත. එහෙත් රත්න ශ්‍රී මෙසේ ලීවද ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් අපට උරුම වූයේ එම පරාධීන භාවය පමණක් ද? අද අප භාවිත කරන විවිධ හුරු පුරුදු, ආහාර රටා, විලාසිතා, කතාබහ ඔවුන්ගෙන් ලද ඒවාය. රත්න ශ්‍රී මෙහි දී උත්සහ ගෙන ඇත්තේ අධිරාජ්‍ය විරෝධී පිරිසක් නිර්මාණය කිරීමට පමණි. අප තවමත් ඔවුන්ට පර සුද්දා යනුවෙන් නිර්දය ලෙස විවේචනය කරයි. නමුත් ලද දෙය අගය නොකරයි. ප්‍රභාකරන් මිය ගිය පුවත ඇසු සිංහලයා එය සිංහලයා ලැබූ උසස් ජයග්‍රහණයකැයි සිතා උදම් ඇනුවේ ය. නමුත් ප්‍රභාකරන් වැනි දක්ෂ මිනිසෙක් මේ සමාජයට වැදගත් යැයි සිතුවේ කවුරුන්ද? නූගත් අමන දනන් එම මෘත දේහය සතුටින් භුක්ති විඳින්නට ඇත. එහෙත් බුද්ධිමත් ජනතාව ඔහුගේ බුද්ධිය, දක්ෂතාවය, තාක්ෂණික ඥානය පිළිබඳ සිතමින් කම්පා වනු ඇත. එසේ බහුතරයක් සතුටු වීමට ඇත්තේ මෙරට තිබූ ජාතිවාදී වර්ගවාදී ආගම්වාදී පෙරළිය නිසා ය. ඒ වගේම ඉංග්‍රිසී ජාතිකයින් මේ රට සූරා කෑවා මෙන් ම දියුණු භාෂාවක් මෙන් ම නව සංකල්ප රැසක් උරුම කළේ ය. අප අද මව් භාෂාවට වඩා භාවිත කරන්නේ ද හොඳින් හසුරුවන්නේ ද සුද්දන්ගෙන් උරුම වූ එම භාෂාවයි. අප තවමත් බටහිර අනුකාරකවාදීන් ය. අදටත් අප ඒ සුදු මහත්වරුන්ව අනුකරණය කරනු ලැබේ.
මෙවැනි ගීත රැසක් නිර්මාණය වුවද ඒ සෑම ගීතයකම දක්නට ලැබෙන්නේ අධිරාජ්‍ය විරෝධී භාවය පමණකි. අප සුදු මහත්වරුන්ගෙන් උකහාගත් දෙය තවමත් භාවිත කරන බව කලාකරුවාට අදටත් ඇස ගැටී නැත. අන්තවාදී නොවී මධ්‍යස්ථව සිට බැලීමේ දී එය ස්පර්ශ කර ගැනීමට හැකි සක්‍යතාවක් පවතී. නිවට නියාලු ලෙස මුළු ගැන් වී ඒකාකෘත රාමුවක කොටු වී සිටි සිංහල ජනතාව අවධි වූයේ ඉංග්‍රිසී ජාතිකයින්ගේ ආගමනයත් සමඟ ය. නව ආකල්ප, නිර්මාණාත්මක චින්තන ශක්තිය සහ නව සංවර්ධන සංකල්ප යනාදිය ඔවුන්ගෙන් උරුම විය. සාමාන්‍ය වැසියා දුටු ආකාරය එයාකාරයෙන්ම රචනා කිරීම කලාකරුවෙකුට යෝග්‍ය නොවේ. සාමාන්‍ය වැසියා දුටු ආකාරය වෙනස් කිරීමට කලා කෘතියක් තරම් ප්‍රබල අවියක් මිහිපිට නොමැත. එනිසා නැවුම් වස්තු බීජයක් සොයා යන රත්න ශ්‍රීට මෙම ගීතය අනෙකුත් කලාකරුවන් සේම, ඒකාකාරී ලෙස අධිරාජ්‍ය විරෝධී ආකල්ප ජන සන්තානය තුළ නිධන් කිරීමට වෙහෙස නොදරා මැදිහත් සිතින් නෙත් යොමා තම කවි සිත අවදි කරන්නට තිබුණි. කල්ලන්ගේ දේශීය භව බෝග සම්පත් තම රටට අපනයනය කරමින් මෙරටට කෝපී, තේ, රබර් වැනි වගාවන් හඳුන්වා දෙන ලදී. එදා අප එයට විරුද්ධ වුවද අද අප එම වගාවන්හි ප්‍රතිලාභය භුක්ති විඳිමින් සිටී. නමුත් අප අදටත් දකින්නේ ඔවුනගේ ගුණමකුකම් පමණි. මෙම ගීත හරහා එම අදහස තව තවත් තීව්‍ර වෙනවා මිස සුභ දායක වන්නේ නැත. එනිසාම කලාකරුවා වෙහෙස විය යුත්තේ එම තිත්ත යථාර්ථය සමාජයට අවබෝධ කර දීමට සිය පන්හිඳ මෙහෙය වීමටයි.
මෙම ගීතය රත්න ශ්‍රී ගේ අරමුණ අනුව ගත් විට අති සාර්ථකය. විශිෂ්ටය. මෙහි භාෂාව සරලය. නමුත් නිර්මාණශිලීය. ආවේගයකින් තොරව සංයමයෙන් සැහැල්ලුවෙන් පද එකිනෙක අමුණන රත්න ශ්‍රී තම අපේක්ෂාව මුදුන්පත් කරගන්නේ දැවැන්ත සංගීතඥයෙකු වන ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ඖචිත්‍ය ගී තනු නිර්මාණයෙන් හා ප්‍රබල, මියුරු හඬ මාධූර්යයකට උරුමකම් කියන සුනිල් එදිරිසිංහ නම් නිර්මාපකයාගේ ද දායකත්වය නිසාවෙනි. සමස්තයක් ලෙස ගත් කළ ගීතය සාර්ථක බව ප්‍රකාශ කළ හැකි ය. නමුත් එහි ජාත්‍යාලයෙන් යුත් මනෝභාවයකින් පමණක් රචනා වී තිබේ. උක්ත කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් සිය කලාත්මක ඇස ඒ දෙසටද යොමු කරමින් පද සංකලනය වී තිබුනේ නම් මෙය තව තවත් සම්මානනීය වන්නට අවකාශය තිබුණි.