Tuesday, June 13, 2017

හදවතේ භාෂාව



           කවිය මිනිසාට මොහොතකට උත්පත්තිය ලබා දෙන්නේ යැයි මතයක් පවතී. එනිසාම කලාව යනු මිනිසා තෘප්. කරනු ලබන සාධකයකි. මිනිසා සංවේදී භාවයට ලක් කරන්නේ කවියයි. මන්ද කවිය යනු හදවතේ භාෂාවයි. ඕමාර් කසියම් නම් දාර්ශනිකයා ප්‍රකාශ කර ඇත්තේ කවිය යනු පෑරුණු තුවාලයකින් නැඟෙන වේදනාවක් දත් පිරුණු මුවකින් නැඟෙන සිනාවක සතුටක් ලෙසයි. මෙමඟින් තුළ පවතින ගැඹුර ඉස්මතු කරයි. ඒ අනුව කවි සිතුවිලි උපත ලබන්නේ මිනිස් හදවතේය. හදවතේ තෙරපෙන හැඟීම් සමුදාය එකට කැටි කොට කවියක් ලෙසින් පිට වේ. කවිය යනු කුමක්දැයි පැහැදිලි නිර්වචනයක් ඉදිරිපත් කිරීම අපහසුය. විවිධ විද්වතුන් කවියා පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් කර තිබේ. එස්.ටී කොල්රිච් ප්‍රකාශ කරන්නේ කවිය යනු, හොඳම වචන හොඳම පිළිවෙලට ගැළපීම යන්නයි. නමුත් කවිය වැදගත් වන්නේ එහි අරුත හරියාකාරව ජනතාවට සන්නිවේදනය කරන ආකාරයෙනි. ගද්‍ය සාහිත්‍යයට වඩා අඩු වචන මාලාවකින් ලියැවෙන කවිය අපූර්ව වූ සන්නිවේදන ක්‍රියාදාමයකි. කවිය ජීවිතයට සෞන්දර්යක් එක් කරයි. මිනිස් සන්තානය හා බැඳුණ ආකල්ප හැඟීම් කවියකට වස්තු විෂය වේ.
          ආදරය, වේදනාව, විරහව, පසුතැවිල්ල, හුදකලාව, පාළුව, කාන්සිය, අසමත්වීම, සතුට යනාදි අප ජීවිතය හා බැඳි මේ භාව ප්‍රකාශයන් ඉතා සියුම්ව ජනතාවට සන්නිවේදනය කිරීමට කවිය සමත් වෙයි. ජීවිත අත්දැකීමේ ප්‍රතිඵලයක් වන කවිය හදවතට බොහෝම සමීප වෙයි. කවිය තුළින් ජනතා හදවතට හඬගානු ලබයි. ජිවිතයේ යථාර්ථය හඳුනාගැනීමට ද කවිය උපයෝගී වේ. තවද රටක සාමය සමාදානය පතුරුවා සංවර්ධනය වීමට කවිය සොඳුරු වූත් ප්‍රබල වූත් සන්නිවේදන ක්‍රියාදාමකි. කවිය විශ්වය සමඟ අත්වැල් බැඳගනිමින් විශ්වයේ සොඳුරු තැන් කරා එබිකම් කරයි. සමාජ, සංස්කෘතික, ආගමික වශයෙන් පමණක් නොව දේශපාලනමය වශයෙන් ද කවි නිර්මාණය වේ. ඒ සෑම නිර්මාණයක දී ම කවියා නිරතුරුව භාෂාව ප්‍රයෝජනයට ගනී. යොදාගන්නා සෑම වචනයකම ඇති වාච්‍යාර්ථය ඉක්මවා යන ව්‍යංගාර්ථය මතුකර ගැනීමට කවියා නිතර උත්සහ දරයි. එහෙත් ව්‍යංගර්ථවත් වූ පමණින් කවියක් චමත්කාරජනක නොවේ. කවියා බොහෝ විට සිය නිර්මාණයට යොදාගන්නේ තමා අත්විඳි දුක්ඛ දෝමනස්සයන්ය. සීගිර ිගීයේ සිට වත්මන් කවිය දක්වාම කවියා සිය කවි සංකල්පනාවන්ට අනුභූතිය කරගෙන ඇත්තේ මිනිසා විඳි වේදනාවන්වල සතුට හා දුක කැටි වූ අඬහැරයකි. කවියා නිතරම පාහේ විරහව කවියට නඟයි. මන්ද? විරහව කවි සිතුවිලි ධ්වනිත කරන භාවාත්මක හැඟීමකි. එසේ ම සොබා සුන්දරත්වය කවියට ප්‍රස්තූත වන අවස්ථා ද සුලභය. පරිසරය ඇත්තේ විඳින්නටය. පුබුදින මලකත්, අතුවිහිදී සෙවණ ගෙන දෙන ගසකත්, සිසිලස ගෙන දෙන දිය ඇල්ලකත් සුන්දරත්වය විඳින්නට මිනිසෙකුට හැකි විය යුතුය. එහෙත් වත්මන් මිනිසා යාන්ත්‍රික වීම නිසා සොබාදහම විඳින්නට අවකාශයක් ඔහුට නැත. එබැවින් මිනිසාගේ සෞන්දර්යාත්මක දැක්ම මොට වී තිබේ. අප ජීවත් වන ස්වාභාවික පරිසරය අපූරුය. එය පුදුමාකාර වූ මැවීමකි. එහි නිතර වෙනස්වන සුළු බව අපව සෞන්දර්යාත්මක අත්දැකීමකට රැගෙන යයි. එය බලා විඳීමට හැකි චමත්කාර වූ අපූරු චිත්‍රයකි. නමුදු, එය විඳිය හැක්කේ කලාකරුවෙක්ට පමණි. ඔහු ඒ දෙස බලන්නේ සියල්ලෝම බලන ඇසින් නොව. ඔහු මේ ලොව සෑම දෙයක් දෙසම කලාත්මක ඇසකින් බලනු ලැබේ. ජලය සිඳී යන ඉතා දුෂ්කර කටුක කාලයට සමුදෙමින් පැමිණෙන්නේ ඇළ දොළ ගංගා පිටාර ගලා යන, මල් ඵලින් බර වුන වෘක්ෂලතාවෝ රඟදෙන මුළු පරිසරයම එකම සැණකෙළියක් බවට පත් වන වසත් කාලයයි. සොබා දහමේ එවැනි වෙනස්වීම ජිවිතයට ඈදා ගනිමින් කවි නිර්මාණයට ප්‍රතිභාපූර්ණ කවි කිවිඳියන් සමත් වෙයි. ජිවිතයේ කටුක කාලය නිමාවෙමින් වසන්තය උදාවන බව පෙන්වා දෙයි. ඒ අනුව කවිය යනු, ජිවිතය යථාර්ථවත්ව නිරූපණය කළ හැකි සන්නිවේදන උපක්‍රමයකි. කවිය යනු, හදවතේ භාෂාවයි. කවියා ආමන්ත්‍රණය කරන්නේ මිනිස් හදවතටයි. 
     


No comments:

Post a Comment

සංඛපාල විහාරය

සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අටකළං කෝරළයේ, තඹගමු පත්තුවේ, සංඛපාල ග්‍රාම නිලධාරි වසමේ පි...