Wednesday, June 28, 2017

ලංකාවේ ප්‍රධාන දේවාල

අප කොයි ආගමකට අයත් වුනත් දෙවියන් වඳින්න අමතක වෙන්නේ නැ. මොකද අපි බෞද්ධයන් වුවත් දෙවියන් වන්දනාමාන කරනවා. ශිෂ්ටාචාරගත වන්නට පෙර සිටම අපි විවිධ දෙවිවරු ඇදහූවා. ඒත් විශ්වාසයත්, භක්තියත් ඇති පුද්ගලයන් අන්වාර්යෙන්ම දෙවියන් යදිනවා. අද වන විට පන්සල්වල පවා දෙවියන් උදෙසා විශේෂ ස්ථානයක් වෙන්කර තියෙනවා. දේවාල, දෙවොල යනාදි නම්ලින් මේවා හඳුන්වයි. බෞද්ධාගමික රටක් වූ ලංකාවට දේව සංකල්පය පැමිණියේ ඉන්දියානු ආභාෂය නිසයි. ඒ පුරාණ රජවරුන් තමන්ගේ අග මෙහෙසිය වශයෙන් ඉන්දියානු කාන්තාවන් සරණපාවා ගැනීම නිසයි. එම ගෙන්වන ලද බිසෝවරුන්ට වන්දනාමාන කිරීමට මෙසේ දේවාල තනවා දෙන ලදී. ඒ අනුව දේව වන්දනාව බෞද්ධයින් අතර ද ප්‍රචලිත වීම නිසාම විවිධ දෙවිවරුන් උදෙසා දේවාල රැසක් ලංකාව පුරාම ඉදිවෙන්නට පටන් ගත්තා.

වර්තමානයේ බෞද්ධ, හින්දු, භේදයකින් තොරව සෑම දෙනෙක්ම වන්දනා කරන ප්‍රධාන දේවාල කිහිපයක් තියෙනවා.
*      රුහුණු මහා දේවාලය
*      මහා සමන් දේවාලය
*      දැඩිමුණ්ඩ දේවාලය
*      පත්තිනි දේවාලය
*      විභීෂණ දේවාලය
*      විශ්ණු දේවාලය
*      මුන්නේශ්වරම් දේවාලය

කතරගම කියන්නේ ලංකාවේ ප්‍රධාන නගරයක්. කිසිදු ආගම් භේදයකින් තොරව බෞද්ධ, හින්දු, මුස්ලිම් යන සියල්ල වැඳුම් පිදුම් කිරීමට එම පූජා නගරයට පියනඟයි. ඒ කතරගමයි. මෙහි ඇති රුහුණු මහා දේවාලයට හිමිවන්නේ විශේෂ ස්ථානයක්. කතරගම මහා දේවාලයේ ඉතිහාසය ඉතා ඈතට දිවෙන්නකි. එකල රජකම් කරන ලද දුටුගැමුණු රජතුමා මේ දේවාලය ඉදිකර තිබේ. මෙම දේවාලය ඉදිකිරීම සම්බන්ධව නොයෙක් ජනප්‍රවාද පවති. ඒ වගේම සිංහල ජනතාව අතර “ කතරගම දෙවියන් නමින් ද හින්දු බැතිමතුන් අතර “ මුරුගන් නමින් ද මේ දෙවියන් හඳුන්වනවා. සෑම වසරකම කතරගමට එන බෞද්ධ, හින්දු, මුස්ලිම් බැතිමතුන් දකින විට කතරගම දෙවියන් පිළිබඳව ඇති විශ්වාසය, භක්තිය පැහැදිලි වෙයි.

සබරගමුව සමන් දෙවියන්ගේ අඩවිය වන්නේ සීතාවක රාජධානියයි. බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයටත් වන්දනාවටත් පාත්‍ර වූ දෙවියන් වන්නේ සමන් දෙවියන්ය. බුදුන් වහන්සේගේ ශ්‍රීපා සලකුණ පිහිටි සමනල කන්ද මෙම දෙවියන්ගේ ප්‍රධාන වාසභූමිය ලෙස සැලකෙනවා. රත්නපුර මහ සමන් දේවාලය මේ දෙවියන් උදෙසාම ඉදිකරන ප්‍රධාන දෙවොලයි. මේ දෙවොලට සතර තවත් දේවාල හතරක් සාදා තිබේ. එනම්,
*      බටහිරින් රත්නපුර මහ සමන් දේවාලය
*      උතුරින් දැරණියගල මහ සමන් දේවාලය
*      දකුණින් බොල්තුබේ මහ සමන් දේවාලය
*      නැගෙනහිරින් මහියංගන මහ සමන් දේවාලය

සිදුහත් තවුසා බුද්ධත්වයට පත්වන අවස්ථාවේ දී සිදු වූ මාර පරාජයේ දී සිදුහත් තවුසා සමඟ රැඳී සිටි එකම දේවතාව වන්නේ දැඩිමුණ්ඩ දෙවියන්ය. එසේ ම තථාගතයන් වහන්සේ පිරිනිවන්පාන අවස්ථාවේ දී සක්දෙව් අමතා ලංකාව භාර කරන ලෙස කීවේ ද දැඩිමුණ්ඩ දෙවියන්ටය. මෙම හේතු කාරණා නිසාම උපුල්වන් දෙවියන් ලෙස හඳුන්වන දැඩිමුණ්ඩ දෙවියන් බොදු ජනතාවගේ ප්‍රසාදයට ලක් වී තිබේ. දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා ඈත අතීතයේ සිටම විවිධ ප්‍රදේශවල පුද පූජා පවත්වා තිබේ. මෙම දෙවියන් උදෙසා ඉදිකර ඇති ප්‍රධාන දේවාලය ලෙස සලකන්නේ අලුත් නුවර  දැඩිමුණ්ඩ දේවාලයයි. මාවනැල්ලේ පිහිටි මෙම දැඩිමුණ්ඩ දේවාලය වසර තුන්සියයක් පමණ ඉක්ම වූ ඉතිහාසයකට හිමිකම් කියයි. එකල රජ දවස සුනේත්‍රා දේවිය විසින් කළ යෝජනාවකට අනුව මේ දේවාලය ඉදිකළ බව කියයි. හොඳට හොඳ නරකට නරක හදවතක් ඇති දැඩිමුණ්ඩ දෙවියන් දුකට පිහිට විය හැකි ශක්තියක් ඇති දෙවියෙකු බව බැතිමතුන් විශ්වාස කරයි. තවත් බොහෝ ස්ථානවල දැඩිමුණ්ඩ දේවාල ඉදිකර තිබුණ ද මෙහි ප්‍රධාන දේවාලය ලෙස සලකන්නේ මාවනැල්ල අලුත්නුවර පිහිටි දැඩිමුණ්ඩ දේවාලයයි.

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රීක්කයේ කඩුවෙල ප්‍රදේශයේ පිහිටි නවගමුව ග්‍රාමයේ පත්තිනි දේවාලය පිහිටා තිබේ. මෙය අතීතයේ දී හඳුන්වා ඇත්තේ නා ගොමුව ලෙසිනි. නා ගස් ගොමුවක පිහිටි නිසා මෙය නවගමුව ලෙස හඳුන්වන්නට ඇත. තවමත් එහි එලෙස නා ගස් පවතී. මේ නම ඇති වීමට තවත් හේතු තිබේ. නවගමුවට ගම් නවයක් එක්වීම නිසා ද නාග ගෝත්‍රිකයන් ගොමුවක් වශයෙන් ජීවත් වීම නිසා ද මෙය නවගමුව වූ බවට මතයන් පවති. පත්තිනි දේවිය වෙනුවෙන් ඉදිකළ දේවාලයක් ලෙස නවගමුව දේවාලය අතීතයේ සිටම බැතිමතුන් අතර ගෞරවාදරයට පත් වී තිබේ.
   
එම දේවාලවලට අමතරව විභීෂණ දෙවියන් උදෙසා කැලණි විහාරස්ථානයේ ඉදිකර ඇති විභීෂණ දේවාලයත්, විශ්ණු දෙවියන් සඳහා බෙල්ලන්විල විහාරයේ ඉදිකර ඇති විශ්ණු දේවාලයත්, හලාවත පිහිටි මුන්නේශ්වරම් දේවාලයත් ප්‍රධාන තන්හිලා ගැනේ. මේවා අතරින් කැලණි විහාරස්ථානයේ ඉදිකර ඇති විභීෂණ දේවාලයත්, බෙල්ලන්විල විහාරයේ ඉදිකර ඇති විශ්ණු දේවාලයත් මෑතකදි ඉදිකරන ලද ඒවාය. නමුත් මුන්නේශ්වරම් දේවාලය රාවණ රජ දවසේ සිට පැවැත එන්නක් බව සැලකේ. එවක රජකළ 06 වන පරාක්‍රමබාහු රජතුමා විසින් මෙම දේවාලය කරවා තිබේ. මෙහි නිතර පුද පූජා කටයුතු සිදු කරන බැවින් මෙහි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණයට ලක්ව තිබේ.


දේව සංකල්ප, දේව විශ්වාස,ඇදහිලි ක්‍රම කුමක් වුවත් එදා මෙන් ම මිනිසා තාමත් දෙවියන් අමතක කර නැති බව කිවමනා ය. තවමත් ඔවුන් සිය ජිවිතයේ කටයුතුවල දී දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරයි. 

Monday, June 26, 2017

පාතාල ලෝක සාමාජිකයන්ගේ නම් හැදුන හැටි.......


අද කවුළුවෙන් අපූරූ ලිපියක් ගැන කතා කරන්න හිතුණා. Googleවල සෙවීම් දී හම්බුණ ඒ රසවත් ලිපිය Channel News 4 හි පළ වූ සුවිශේෂී ලිපියක්. ඉතිං හිතුණා බ්ලොග් අඩවියේ ඉන්න අපේ හිතවතුන්ටත් ඒ ගැන කියන්න. මේ ගැන කතා කරන්න නම් ටිකක් බයකුත් හිතෙනවා. නමුත් මේක හරි රසවත්. මීට දින කිහිපයකට පෙර පාතාලය ගැන කතා බහට ලක් වුණා. ඒ බන්ධනාගාර ගතකර සිටි පාතාල නායකයා වීමට පෙරුම් පිරූ සමයංගේ ඝාතනය නිසා. පාතාල කල්ලියක් විසින් එහි ස්වභාවය පෙන්නුම් කරමින් අමානුෂික ලෙස ඔහුව ඝාතනය කර තිබුණා. සමයං කියන්නේ මෑතකාලයේ නම ගිය පාතාල සාමාජිකයෙක්. අද ද එවැනි නම ගිය පාතාල සාමාජිකයන් ඉන්නවා. ඒත් අපි අද කතා කරන්නේ අද ඉන්න අය ගැන නම් නෙවෙයි. මීට පෙර සිටි පාතාල සාමාජිකයන් ගැන. ආණ්ඩුව එක එක කාලෙට වෙනස් වෙනවා වගේ මේ පාතාල ලෝකයේ රජ කරන චණ්ඩිත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒ චණ්ඩි ජනප්‍රිය වෙලා තියෙන්නෙත් අපූරු නම්වලින්. එහෙම නම්වලින් ජනප්‍රිය වුන ටිකදෙනෙක් තමා වෙලේ සුදා, වම්බොට්ටා, සොත්ති උපාලි, කරාටේ ධම්මික වගේ අය. මේ නම් හැදුනේ කොහොමද කියලා දැනගන්න හරි ආස හිතෙනවා. අපි එහෙම නම් ටිකක් ගැන දැනගමු නේද?










මීට දශක දෙක තුනකට කලින් උපත ලැබූ ගම්පොල විදානේලාගේ වසන්ත කුමාරට සුදා කියලා කියනවා. ඒකට හේතුවක් විදිහට කියන්නේ හොර අරක්කු  ෆැමිලි බිස්නස් එකක් පවත්වන් ගියපු එක තමයි. මේක කරන් ගිහින් තියෙන්නේ ගමේ අහල පහල වෙලක. ඒ හින්දා ඔහු වෙලේ සුදා වෙලා. 80 දශකවල ලංකාවේ පාතාලේ හොල්ලගෙන හිටපු අරඹෙවෙලගේ දොන් උපාලි රන්ජිත්ට සොත්ති උපාලි කියන්නේ පිහිපාරක් වැදීමෙන් අත විරූපී වී ඇති නිසා බව කියයි. කරාටේ ධම්මික පාතාල ලෝකයෙන් එළියට එන්නේ කඩුවෙල වසන්තව ඝාතනය කිරීමත් සමඟ. කලක් යද්දී ලෝකයේ අංක එකට පත්වන ධම්මික පස්සේ අතුරුදහන් වීමට ලක්වෙනවා. මෙම පාතාල රස්සාව කරන්න කලින් ඔහු හොඳ කරාටේ ගුරුවරයෙක්. කරාටේ ගුරුවරයෙක් ලෙස මේ විදිහට ජනප්‍රියත්වය පත් වුන ධම්මික පාතාල ලෝකයේ කරාටේ ධම්මික නමින් හඳුන්වා තිබෙනවා.

වම්බොට්ටා කියන්නේ විහිලු සහගත නමක් වුනත් මොහු දකුණේ පාතාල ලෝකය උණුසුම් කරපු පුද්ගලයෙක්. ඔහු නමින් කිතුල මුල්ල ගමගේ අජිත් වසන්ත කුමාරයි. අජිත් තමන්ගේ දිළිඳු පවුලේ බර කරගහන්න සූරියවැවේ පොළේ වම්බටු විකුණලා තියෙනවා. ඒ නිසා  අජිත් වම්බොට්ටා වෙලා තියෙනවා. ආනමාලු ඉමිටියාස්ගෙ ඇත්ත නම මොහොමඩ් හසන් මොහොමඩ් ඉමිටියාස් ය. ඒ නම මාලිගාවත්ත පාතාලය ගැන කියද්දී නොකියම බැරි නමක්. මොහුද වම්බොට්ටා වගේ ම දුප්පත්කමින් පෙළුණු නිසා කෙසෙල් කරත්තයක වෙළඳාම් කර ඇත. ඒත් මොහුගේ නම සැකසී ඇත්තේ මේ වෙළඳාම නිසා නෙවෙයි. ඕනෙම ප්‍රශ්නකෙදි ලිස්සලා ඇඟ බේරාගැනීමේ හැකියාවක් සහ ඕනම පුද්ගලයෙකුගේ කනින් රිංගලා යන්න දක්ෂකමක් ඉමිටියාස්ට තිබුණලු. ඒ නිසා ආනමාලු වගේ ලිස්සලා යන කියන තේරුම ඇතිව ඔහු ආනමාලු ඉමිටියාස් බවට පත් වෙයි. 2000 මුල් කාලයේ පාතාලය හොල්ලන් හිටියේ තොප්පි චමින්දයි. මොහුගේ සත්‍ය නම ගීකියනගේ රොෂාන් චමින්ද සිල්වා ය. 90 ගණන් තිබ්බ නයිකි, චිකාගෝ බුල්ස් තොප්පි පිස්සුව චමින්දට උපරීමේට තිබුණා. උදේ නැගිට්ට වෙලේ ඉඳන් රෑට නිදාගන්නකම් තොප්පිය ඔලුවෙන් ගලෝල නැති නිසාලු තොප්පි චමින්ද කියන නම වැටිලා තියෙන්නේ.   


මුණියන්ඩි වාප්පු බාලන් හෙවත් තෙල් බාලා කියන්නේ මත්කුඩු ජාවාරම අතින් ලංකාවේ නීතියට හිසරදයක් වෙච්ච පාතාල සාමාජිකයෙක්. මොහුගේ බලපුළුවන්කාරකම ඉන්දියාව දක්වාම පැතිරී තිබිලා තියෙනවා. මොහුගේ මුල් කාලීන ජීවනෝපාය වුනේ තෙල් කරත්තයකින් තෙල් විකිණීමයි. ඒ නිසා ඔහුට තෙල් බාලා කියන නම වැටී තියෙනවා. මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවෙක් ලෙස කල්ගෙවයි. ඔහුගේ ඇස්වල ආබාධය මෙම නම හැදෙන්න බලපාන්නට ඇත. එතැන් සිට ඔහු පොට්ට නවුෆර් ලෙසින් ප්‍රසිද්ධ වී තියෙනවා. 

Wednesday, June 21, 2017

අම්මා




මහා වැසි වසින කොට
පැලක් නැති හේනක
තුරුළු කර උණුහුමට
පුතු රකින අම්මාය
විකුණමින් කීර කොළ 
උපයනා රුපියලෙන්
බනිස් ගෙඩියක් ගෙනත්
ඇගෙ බඩට වතුර බී
මගේ කුස පුරවනා
ඒ මගේ අම්මාය
නූගත් වුවත් ඇය
ගොහින් අද සෙයිලමට
කොපි පොතක් ගෙනත් දුන් 
ඇය මගේ අම්මාය...................

Friday, June 16, 2017

මෙන්න අදහන්න ඕන චරිත




        අද කවුළුවෙන් අපි කතා කරන්න යන්නේ සුපිරි චරිතයක් ගැන. ඇය නමින් ජූලියා විජේසිංහ ය. ජූලියා ඇමරිකාවේ නිව්යෝක් නගරයේ සිට ලංකාවේ අපූරත්වය ලෝකයට රැගෙන යාමට සොඳුරු කෞතුකාගාරයක් නිර්මාණය කළ ඇය වයසින් කුඩා විය. වයසින් බාල වුවත් ඇයගේ අපූරු හැකියාව ගැනයි අපි මේ කතා කිරීමට සූදානම් වෙන්නේ.

            ජූලියා ඇගේ කෞතුකාගාරය ගැන මුලින්ම හැඳින්වූයේ මෙහෙමයි. මගේ කෞතුකාගාරය නම් කරලා තියෙන්නේ “Sri Lankan Art & Culture Museum NY” කියලා. ඒක තියෙන්නේ ඇමරිකාවේ පළවෙනි ශ්‍රී ලාංකික රෙස්ටුරන්ට් එක පටන් ගත්තේ මගේ තාත්තා. රෙස්ටුරන්ට් එක පහළ තට්ටුවේ තමයි කෞතුකාගාරය තියෙන්නේ. ලංකාවේ හැම ආගමක්ම, හැම සංස්කෘතියක්ම, ජීවන රටා වගේ ලංකාව හා බැඳුණු හැම විස්තරයක්ම  කෞතුකාගාරයේ තියෙනවා. මේ අවුරුද්දේ මාර්තු 27 තමයි මේ කෞතුකාගාරය පටන් ගත්තේ. මම ඉපදුනේ නිව්යෝක්වල ක්වින්ස් කියන පැත්තේ. මට අවුරුදු 3 ඉඳන් හැම අවුරුද්දෙම ලංකාවට එනවා. ඒ ආවාම ලංකාවේ ගොඩක් තැන්වල ඇවිදිනවා. ඒ ගියාම තමයි ගොඩක් දේවල් හොයාගන්නේ. මගේ තාත්තා ඉස්සර ඉඳන් ලංකා‍වේ දේවල් එකතු කරන කෙනෙක්. ගෙදරත් හරියට කෞතුකාගාරයක් වගේ. මමත් තාත්තාගෙන් තමයි එකතු කරන්න පුරුදු වුනේ. තාත්තා තමයි මට නිතරම ලංකාව ගැන කියා දෙන්නේ. මටත් ඕණී වුනා ඇමරිකාවේ ඉඳන් ලංකාව වෙනුවෙන් දෙයක් කරන්න. ඒ නිසා තමයි මගේ තාත්තාගෙන් ඇහුවේ මට මෙහෙම කෞතුකාගාරයක් පටන් ගන්න පුළුවන්ද කියලා. නමුත් නීත්‍යානුකූලව ඒක කරන්න අවුරුදු 18 වෙනකම් ඉන්න වුනා. ඒ අනුව තමයි ලංකාවෙන් තව බඩු ගෙනල්ලා මේ අවුරුද්දේ පටන් ගත්තේ. 
                                                             
               මේ කෞතුකාගාරයට ප්‍රතිචාර ලැබිලා තියෙන විදිහත් ඈ විස්තර කරයි. නිව්යෝර්ක්වල මේ ගැන මාධ්‍ය හරහා ගොඩක් කතා බහට ලක් වුණා. නිව්යෝර්ක්වල නගරාධිපතිතුමන් මං ගැන ලියලා තිබුණා. මගේ ඇමරිකාවේ යාළුවෝ නම් කියනවා එයාලා පුංචි කාලේ ඉඳන්ම මම මේ වගේ දෙයක් කරයි කියලා එයාලා හිතුවලු. ඇමරිකාවේ ප්‍රධාන කෞතුකාගාර තියෙන්නේ  නිව්යෝර්ක්වල. හැබැයි මේ වගේ වෙන රටක කෞතුකාගාරයක් නිව්යෝර්ක්වල පළවෙනි වතාවට හැදුවේ මම. ගොඩක් අය මෙතනට එනවා. ලංකාව ගැන දැනගන්න ආසාවට. ඒ ආවාම අපි මේ තැන්වලට ගිහින් තියෙනවා කියලා මතක් කරගන්න අය වගේම ලංකාව බලන්න යන්න ඕනී කියලා තීරණය කරන අයත් ඉනන්වා.ඒ වගේ ම මේ හරහා ලංකාව ගැන ගොඩක් අය දැනගන්නවා. ඒක ලොකු සතුටක්. මට ඕනි ලංකාව මේ වගේ කියලා ලෝකෙටම කියන්න.

               ජූලියා මේ කෞතුකාගාරය පටන්ගද්දී ආව අභියෝගවලට මුහුණ දීලා තියෙන්නේ මෙහෙමයි. ලෝකේ හැම තැනින්ම ගොඩක් අය යන එන තැනක මේ වගේ කෞතුකාගාරයක් කරන එක තමයි මට තිබුණ ලොකුම අභියෝගය. හැබැයි දැන් මාස 3ට ආසන්න කාලයක් තිස්සේ කරන නිසා මට දැන් වගකීමක්, අවබෝධයක් තියෙනවා. ඒ වගේම මෙහෙ මිනිසුන්ගේ සහයෝගය ගොඩක් ලැබෙනවා. ඒ දේවල් එක්ක මං ධෛර්යමත් වෙනවා.
                   ජූලියා ශ්‍රී ලංකාව ගැන හිතන්නනේ මෙහෙමයි. මම ලංකාවේ ඉතිහාසයට, සංස්කෘතියට ගොඩක් ආසයි. ලංකාවට ආවම ඒ ගැන අධ්‍යයනය කරනවා. මම හැම අවුරුද්දෙම අනුරාධපුර ශ්‍රී මහ බෝධියට එහෙම යනවා. මට සිංහල කියවන්න බැහැ. ඒත් මම සංහල අකුරු ලියන්න කැමැතියි. ඒ වගේම මං ලංකාවට යන හැම වතාවෙම අලුත් දෙයක් ඉගෙන ගන්නවා. මගෙ ඇමරිකාවේ යාළුවෝ පවා දැන් කන්නේ එක අතකින් ලංකාවේ වගේ. එයාලත් ගොඩක් කැමැතියි ලංකාවේ සංස්කෘතියට. ලංකාවේ ඉන්න ගොඩක් අයට හැම තිස්සෙම දකින නිසා ලංකාව ගැන ලොකුවට වටිනාකමක් තේරෙන්නේ නැතුව ඇති. ඒත් ලංකාවෙන් පිට ඉන්න අපිට ලංකාව ගැන ලොකු වටිනාකමක්, ආදරයක් දැනෙනවා. මං නම් දකින්නේ මං වගේ පොඩි කෙනෙක්ට පිට රටක ඉඳන් මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ලංකාවේ අයටත් ලංකාවේ ඉදන් මේ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ වගේ ම මං කැමැතියි කියන්න ලෝකේ කොහේ උන්නත් ලංකාවේ අපි හැමෝම එකතුවෙලා ඉන්න ඕනී. අනිත් කෙනෙක් ගැන හිතන්න ඕනී. තමන්ගේ රට වෙනුවෙන්, රටේ මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න ඕනි කියලා. මොකද අපි කරන දේවල්වලින් තවත් කෙනෙක්ගේ ජිවීතේට පුංචිම හරි සතුටක් ගේන්න පුළුවන් නම් ඒක වටිනවා.
                     අරුණි කළුපහන විසින් දිනමිණ දි Y අතිරේකයට ලියන ලද මෙම ලිපිය ලංකාවේ අපිට වැදගත් කියලා හිතුණා. අපි ලංකාව වගේ සුන්දර රටක ඉඳගෙන මොනාද කරන්නේ. අපි අපේ රට විනාශ කරනවා. පිටරැටියන් ඒක තවත් ලස්සන කරන්න උත්සහ කරනවා. අපි ඉන්නේ කොහෙද කියලා මේ ලිපිය කියවද්දී හිතට දැනෙනවා.

                                                                        


                                          (උපුටා ගැනීමකි.)     

Tuesday, June 13, 2017

හදවතේ භාෂාව



           කවිය මිනිසාට මොහොතකට උත්පත්තිය ලබා දෙන්නේ යැයි මතයක් පවතී. එනිසාම කලාව යනු මිනිසා තෘප්. කරනු ලබන සාධකයකි. මිනිසා සංවේදී භාවයට ලක් කරන්නේ කවියයි. මන්ද කවිය යනු හදවතේ භාෂාවයි. ඕමාර් කසියම් නම් දාර්ශනිකයා ප්‍රකාශ කර ඇත්තේ කවිය යනු පෑරුණු තුවාලයකින් නැඟෙන වේදනාවක් දත් පිරුණු මුවකින් නැඟෙන සිනාවක සතුටක් ලෙසයි. මෙමඟින් තුළ පවතින ගැඹුර ඉස්මතු කරයි. ඒ අනුව කවි සිතුවිලි උපත ලබන්නේ මිනිස් හදවතේය. හදවතේ තෙරපෙන හැඟීම් සමුදාය එකට කැටි කොට කවියක් ලෙසින් පිට වේ. කවිය යනු කුමක්දැයි පැහැදිලි නිර්වචනයක් ඉදිරිපත් කිරීම අපහසුය. විවිධ විද්වතුන් කවියා පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් කර තිබේ. එස්.ටී කොල්රිච් ප්‍රකාශ කරන්නේ කවිය යනු, හොඳම වචන හොඳම පිළිවෙලට ගැළපීම යන්නයි. නමුත් කවිය වැදගත් වන්නේ එහි අරුත හරියාකාරව ජනතාවට සන්නිවේදනය කරන ආකාරයෙනි. ගද්‍ය සාහිත්‍යයට වඩා අඩු වචන මාලාවකින් ලියැවෙන කවිය අපූර්ව වූ සන්නිවේදන ක්‍රියාදාමයකි. කවිය ජීවිතයට සෞන්දර්යක් එක් කරයි. මිනිස් සන්තානය හා බැඳුණ ආකල්ප හැඟීම් කවියකට වස්තු විෂය වේ.
          ආදරය, වේදනාව, විරහව, පසුතැවිල්ල, හුදකලාව, පාළුව, කාන්සිය, අසමත්වීම, සතුට යනාදි අප ජීවිතය හා බැඳි මේ භාව ප්‍රකාශයන් ඉතා සියුම්ව ජනතාවට සන්නිවේදනය කිරීමට කවිය සමත් වෙයි. ජීවිත අත්දැකීමේ ප්‍රතිඵලයක් වන කවිය හදවතට බොහෝම සමීප වෙයි. කවිය තුළින් ජනතා හදවතට හඬගානු ලබයි. ජිවිතයේ යථාර්ථය හඳුනාගැනීමට ද කවිය උපයෝගී වේ. තවද රටක සාමය සමාදානය පතුරුවා සංවර්ධනය වීමට කවිය සොඳුරු වූත් ප්‍රබල වූත් සන්නිවේදන ක්‍රියාදාමකි. කවිය විශ්වය සමඟ අත්වැල් බැඳගනිමින් විශ්වයේ සොඳුරු තැන් කරා එබිකම් කරයි. සමාජ, සංස්කෘතික, ආගමික වශයෙන් පමණක් නොව දේශපාලනමය වශයෙන් ද කවි නිර්මාණය වේ. ඒ සෑම නිර්මාණයක දී ම කවියා නිරතුරුව භාෂාව ප්‍රයෝජනයට ගනී. යොදාගන්නා සෑම වචනයකම ඇති වාච්‍යාර්ථය ඉක්මවා යන ව්‍යංගාර්ථය මතුකර ගැනීමට කවියා නිතර උත්සහ දරයි. එහෙත් ව්‍යංගර්ථවත් වූ පමණින් කවියක් චමත්කාරජනක නොවේ. කවියා බොහෝ විට සිය නිර්මාණයට යොදාගන්නේ තමා අත්විඳි දුක්ඛ දෝමනස්සයන්ය. සීගිර ිගීයේ සිට වත්මන් කවිය දක්වාම කවියා සිය කවි සංකල්පනාවන්ට අනුභූතිය කරගෙන ඇත්තේ මිනිසා විඳි වේදනාවන්වල සතුට හා දුක කැටි වූ අඬහැරයකි. කවියා නිතරම පාහේ විරහව කවියට නඟයි. මන්ද? විරහව කවි සිතුවිලි ධ්වනිත කරන භාවාත්මක හැඟීමකි. එසේ ම සොබා සුන්දරත්වය කවියට ප්‍රස්තූත වන අවස්ථා ද සුලභය. පරිසරය ඇත්තේ විඳින්නටය. පුබුදින මලකත්, අතුවිහිදී සෙවණ ගෙන දෙන ගසකත්, සිසිලස ගෙන දෙන දිය ඇල්ලකත් සුන්දරත්වය විඳින්නට මිනිසෙකුට හැකි විය යුතුය. එහෙත් වත්මන් මිනිසා යාන්ත්‍රික වීම නිසා සොබාදහම විඳින්නට අවකාශයක් ඔහුට නැත. එබැවින් මිනිසාගේ සෞන්දර්යාත්මක දැක්ම මොට වී තිබේ. අප ජීවත් වන ස්වාභාවික පරිසරය අපූරුය. එය පුදුමාකාර වූ මැවීමකි. එහි නිතර වෙනස්වන සුළු බව අපව සෞන්දර්යාත්මක අත්දැකීමකට රැගෙන යයි. එය බලා විඳීමට හැකි චමත්කාර වූ අපූරු චිත්‍රයකි. නමුදු, එය විඳිය හැක්කේ කලාකරුවෙක්ට පමණි. ඔහු ඒ දෙස බලන්නේ සියල්ලෝම බලන ඇසින් නොව. ඔහු මේ ලොව සෑම දෙයක් දෙසම කලාත්මක ඇසකින් බලනු ලැබේ. ජලය සිඳී යන ඉතා දුෂ්කර කටුක කාලයට සමුදෙමින් පැමිණෙන්නේ ඇළ දොළ ගංගා පිටාර ගලා යන, මල් ඵලින් බර වුන වෘක්ෂලතාවෝ රඟදෙන මුළු පරිසරයම එකම සැණකෙළියක් බවට පත් වන වසත් කාලයයි. සොබා දහමේ එවැනි වෙනස්වීම ජිවිතයට ඈදා ගනිමින් කවි නිර්මාණයට ප්‍රතිභාපූර්ණ කවි කිවිඳියන් සමත් වෙයි. ජිවිතයේ කටුක කාලය නිමාවෙමින් වසන්තය උදාවන බව පෙන්වා දෙයි. ඒ අනුව කවිය යනු, ජිවිතය යථාර්ථවත්ව නිරූපණය කළ හැකි සන්නිවේදන උපක්‍රමයකි. කවිය යනු, හදවතේ භාෂාවයි. කවියා ආමන්ත්‍රණය කරන්නේ මිනිස් හදවතටයි. 
     


Thursday, June 8, 2017

සමරමු පොසොන්..........



          අද දින සමරනු ලබන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අනුරාධපුරය හා මිහින්තලය ප්‍රධාන කොට ගෙන සමරනු ලබයි. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් තෙවරක් පාරිශුද්ධත්වයට පත් වූ ලක්දිවට අනුබුදු මිහිඳු හිමියන්ගේ වැඩමකිරීම මෙම පොහෝ දිනයේ විශේෂත්වය වේ. එය ලක්වාසී බෞද්ධ ජනතාවට වැදගත් වන්නේ විශේෂ වූ හේතුවක් නිසාවෙනි. එනම්, අශෝක අධිරාජ්‍යයා බුදු දහම වැළඳගත් පසු තම අසල්වැසි රාජ්‍යයන්ට එම ධර්මය ව්‍යාප්ත කිරීම අරඹන ලදී. ක්‍රි.පු 250 දී පමණ පවත්වනු ලබන තෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස බුදු දහම ලංකාවට ව්‍යාප්ත වීමයි. පොසොන් පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධ බැතිමතුන්ට අති උතුම් දිනයකි. මෙරටට ධර්ම ප්‍රදීපය දැල්වුන මොහොත සිහිපත් කරන මෙම උතුම් දිනය සිංහල බෞද්ධ ජනතාවට ඉතා වැදගත් දිනයකි. එලෙස ලංකාද්වීපයේ බුදු දහම ස්ථාපිත වන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුවය.
           මෙම පොහෝ දිනය පොසොන් යන නම ලබන්නට ඓතිහාසික කරුණු බලපෑවේ ය. එනම්, පුරාණ ලංකාවේ පොසොන් කෙළිය නමින් සැණකෙළියක් පැවැත තිබුණි. එහි දඩකෙළි, දියකෙළි, ගිනිකෙළි, රතිකෙළි යනාදීන්ගෙන් සමන්විත විය. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිව වැඩි මොහොතේ ද එවක මෙරට රජකළ දේවානම්පියතිස්ස රජු දඩකෙළියේ යෙදෙමින් සිටියහ. එදින මිහින්තලා පර්වතයට පූර්ණ චන්ද්‍රයා දිස් වී තිබුණි. මෙදින  පොසොන් කෙළියේ එක් අංගයක් වූ දඩකෙළියේ යෙදෙමින් මහ රජු මුවෙකු පසු පස හඹා යමින් සිටි බව සඳහන් වේ. එමඟින් පැහැදිලි වන්නේ එදින පැවැත ඇත්තේ රාජ්‍ය අනුග්‍රහයෙන් යුත් පොසොන් කෙළිය නම් වූ සැණකෙළියයි. අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ වැඩම කරන ලද්දේ ද එම දිනයේ බැවින් මෙම පොහෝ දිනයට පොසොන් යන නම ලැබෙන්නට ඇති බව සිතිය හැකිය.
          ලාංකීය ශිෂ්ටාචාරයට නවමු අර්ථකථනයක් ලබා දුන් මෙම පොහෝ දිනය බෞද්ධයන් වන අපට ඉතාමත් වැදගත් වේ. පොසොන් කෙළිය නම් වූ හුදු විනෝදාස්වාද සැණකෙළි පවත්වමින් ගත කළ අර්ථ විරහිත ජීවිතවලට නව අර්ථයක් එක් කරමින් නව මානයක්, තර්කානුකූල බවක් මෙන් ම ධර්මානුකූල බවක් එක් කරන්නට මෙදින හැකි විය. මිහිඳු හිමියන් ලංකාද්වීපයට වැඩම කළ මෙම උත්තම දිනයේ දී ශිෂ්ටාචාරගත වෙමින් සිටි මිනිසුන්ට ජීවිතය දෙස අලුත් ඇසකින් දකින්නට නව මාවතක් උදාවිය. එදායින් පසු මෙරට ධාර්මිෂ්ඨ පාලනයක් රැගෙන යන ලදී. මිනිසුන් අප ගෞතම බුදුන් වහන්සේගේ ධර්මයට අනුව සිය ජීවිත හැඩගස්වා ගන්නා ලදී. මෙම පොහෝ දිනය අපට ඉතාම වැදගත් වන්නේ ඒ නිසයි. අප ශිෂ්ටාචාරවත් මිනිසුන් ලෙස තර්කානුකූලව ජීවිතය දෙස බලන්නට පුරුදු පුහුණු වූයේ මින් පසුවයි. එසේ ම ගස්, ගල්, පර්වත, යකුන්, දෙවියන් අදහමින් සිටි අපට එම ඇදහීම අවබෝධ කරදෙමින් ක්‍රමවත්ව විධිමත්ව ශ්‍රද්ධාවන්තයින් ලෙස වන්දනා කළ යුත්ත නොකළ යුත්ත අවබෝධ කරගන්නා ලද්දේ මින් පසුවය.
          වත්මන් බෞද්ධ වැසියන් මේ උදා වූ පොසොන් සඳ අද දකින්නේ ද සැණකෙළියක් සේමය. අප අද ජීවත් වන සමාජය බොහෝ සෙයින් වෙනස්කම්වලට ලක් වී ඇත. දැන් මේ සමාජය සමාජ ගැටළුවලින් පිරී පවතී. අප ගත කළ ඒ සාමකාමී සමාජය අද අපට උරුම නැත. උදා වූ පොසොන් සඳ දෙස අප අද බලා සිටින්නේ විවිධ අරගලවලට මුහුණ දුන් පසුවය. මේ වන විට රට දේශපාලනික වශයෙන් විශාල වෙනස්කම්වලට බඳුන් වී තිබේ. ආර්ථිකය පරිහානියට ලක් වී තිබේ. සමාජය හැල්මේ දුවනු ලැබේ. රට තුළ විවිධ සමාජ ගැටළු නිර්මාණය වී තිබේ. එහෙත් බුදුන් වහන්සේ දේශනා කළ ඒ මඟ ගමන් කළේ නම් මෙවැනි ප්‍රශ්න ඇති නොවේ. උන්වහන්සේ රටක පාලන තන්ත්‍රය කෙසේ විය යුතුද යන්නත්, ආර්ථිකය පවත්වා ගත යුතු ආකාරයත්, ලෞකික ජීවිතයේ රස වින්දනය පිළිබඳවත්, සොබාදහම පිළිබදවත්, සෞන්දර්ය රසාස්වාදය පිළිබඳවත් වදාළ සේක. සිඟාලෝවාද සුත්‍රය, අණන සුත්‍රය, ව්‍යග්ඝපජ්ජ සුත්‍රය, චක්කවත්ති සීහනාද සුත්‍රය වැනි සුත්‍ර දේශනාවන්ගෙන් ජීවිතය දැහැමි ලෙස අර්ථ පූර්ණය කරගන්නේ කෙසේ ද යන්න එම පැහැදිලි කෙරේ. වර්තමාන සමාජය දෙස ඇස් යොමන කළ බුදුන් වදාළ ධර්මය අද කෙතරම් නම් වැදගත්ද යන්න අවබෝධ වේ.
           ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ස්වර්ණමය සංසිද්ධයක් වූ මිහිඳු හිමියන්ගේ ලංකාගමනය නිසා ඝන අන්ධකාරයෙන් වැසී තිබුණු ශ්‍රී ලංකාද්වීපයට ආලෝකය උදා විය. බුද්ධ ධර්මය පමණක් නොව බෞද්ධ සංස්කෘතියක් ද අපහට උරුම කළ මෙම පොහෝ දිනය සුවිශේෂී වේ. එම ධර්මයෙන් හා සංස්කෘතියෙන් පෝෂණය වූ ලාංකිකයෝ ආධ්‍යාත්මිකව සුපෝෂණය වූහ. ඒ මිහිඳු හිමියන් ලක්දිවට රැගෙන ආ සඳහම් පණිවුඩය නිසාය. මිහිඳු හිමියන්ගේ ඒ උත්තරීතර  ශ්‍රී නාමය අද දිවයින පුරා විවිධ ආමිස පූජාවන් යටතේ සිහිපත් කරනු ලබයි. අනුරාධපුර, මිහින්තලය අද බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යනු ඇත. තොරණ් සකස්කර ඒවා ප්‍රදර්ශනය කිරීම වැනි කලාත්මක රසාස්වාදයත්, දන්සල් පවත්වමින් ලබන්නා වූ ආධ්‍යාත්මික සුවයත්, පෙහෙවස් සමාදන් වෙමින් ලබන්නා වූ ජිවිත අවබෝධයත් වැනි ආමිස පූජාවන්ගෙන් සපිරුන ද මෙදින විවිධ සංදර්ෂණ සැණකෙළි පවත්වන්නට ද බොහෝ දෙනා සූදානම්ය. මෙම උතුම් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේ දී අප කළ යුත්තේ අර්ථ විරහිත සුඛවිහරණයට නොව ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් පිළිවෙතින් පෙළ ගැසීමයි. මිහිඳු හිමියන් ලංකාවට රැගෙන ආ එම සඳහම් පණිවිඩය චර්යාත්මකව ගොඩනැඟීමයි.   



Monday, June 5, 2017

මයෙ අප්පච්චී

                                                  
                                                  අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වුනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පියසෙනෙහසට කව් ගී ලියවුනා මදි..............






මේ ගීතය මුමුණමින් ම කවුළුවෙන් පිටතට නෙත් යොමු කළ මා දුටුවේ දරා දිරි වඩා දහඩිය වගුරුවා සිය දරුවන් වෙනුවෙන් වෙහෙසෙන ආදරණීය අප්පච්චි කෙනෙකි. 


ඔහු සිය දෑත, දෙපයෙහි ශක්තිය වගුරුවා තම කුඹුරු යාය අස්වද්දන්නට අම්බරුවන් සමඟ පොරබදන තාලය මගේ සිත්හි චිත්‍රණය වන්නට විය. මා දැස් ඈතඉම මහපොළොව ඉරතලා ගිය වෙල් යාය දෙස මොහොතක් බලා සිට මෙසේ සිතන්නට විය. තාත්තා බර උසුලන්නේය. ජිවිතය ගීතයක් නම් එහි පද රචකයා තාත්තාය. ඒ ජීවන ගීතය ලියන්නට ඔහු අප්‍රමණ  කැපකිරීම් කරයි. වැස්ස වළාහක දෙවියන් වෙල් යායට වඩින තුරු දෙවියන්ට කන්නලව් කරමින් නින්දත් නොනින්දත් අතර රැය පහන් කරන තාත්තා මේ ජීවන ගීතය ලියන්නට විඳින දුක්ඛ දෝමනස්සයන් අපමණය. මව් සෙනෙහසට නොදෙවෙනි  පිය සෙනෙහස මෙලෙස පදයෙන් පදය ගෙත්තම් කරන්නට සිත් විය.


වැටෙනා අව්වට කියන්න හැකිනම්
ඔබෙ ගුණ කියාවී අප්පච්චී
වඩිනා තුරු වැසි දෙවිඳුන් කුඹුරට
පෙරමඟ බැලුවද අප්පච්චී

එදා ඉඳන් ගිනි අව්වට වේලුණු
ඔබේ ගතට නැහැ සැප ලැබිලා
තාමත් සීපද කියමින් වෙල්ඉම
අම්බරුවන් හා දුක ගයනා

වැටෙනා අව්වට...........

මහ සමුදුරටත් වඩා වැඩියි නුඹෙ
දරු සෙනෙහස මගෙ අප්පච්චී
සතර වරම් දෙවියෝ නිති රැකදෙන්
මගේ පණයි මගෙ අප්පච්චි......//

Saturday, June 3, 2017

මිනිසෙකු නොවේ ඔහු දෙවියෙකි





ලංකාව මේ දිනවල මුහුණ දෙමින් ඉන්නේ හිතකර කාලගුණ තත්ත්වයකට නොවේ. තිස් වසරක් පුරා බිහිසුණු යුද්ධයකට මුහුණ දී හෙම්බත් වූ මිනිසා නව පණක් ලබමින් සිටින කාලයේ එයට සොබාදහම හරස් විය. මීතොටමුල්ල කුණු කන්දට මිනිසුන් අමු අමුවෙන් ඇදගෙන ගොස් තුන්මසක්වත් යන්නට වූයේ නැත. අරණායක සාමස්සර කන්ද නාය ගොස් ද වැඩි කලක් ගතවූයේ නැත. නැවැත මිනිස් කඳුළු දකින්නට සොබාදහම ප්‍රිය කළේය. අධික ග්‍රීෂ්ම වූ නියං සමය නිමාවෙමින් විවිධ ප්‍රදේශවලට වැසි ඇද වැටුනේ ජනතා මුවඟට සනහාවක්, නව බලාපොරොත්තුවක් ගෙන එමිනි. නමුත්, ප්‍රෙද්ශ කිහිපයකටම මෙම නොනවත්වා ඇද හැලුනු වර්ෂාව ගෙන ආවේ දුක හා ශෝකය ජනිත කරවන හැඟීම්ය. මෙම විපතින් සිදු වූ මරණ සංඛ්‍යාව බහුතරයකි. ජිවිත හානි, දේපල හානි කොතෙක් දැයි සංඛ්‍යාත්මකව ඉදිරිපත් කිරීම අපහසුය.



වෙනදා මෙන් ම සුපුරුදු ලෙස නිදි පැදුරට ගිය අගලවත්ත වැසියන් නව පැතුම් ගොන්නක් කරපින්නා ගෙන නව දවසක ආරම්භයක් සිත්හි තබාගෙන තිබුණි. නොසිතු මොහොතක ඇද හැලුනු අනෝරා වැස්ස නිසා ගං වතුර තත්ත්වයක් ඇති විය. මෙසේ ආපදාවට ලක් වූ සංඛ්‍යාව විශාලය. නිවාස ජලයෙන් යට තමන්ට උන්හිටි තැන් පවා අහිමි වී යන්නට විය. දෙමහල් නිවාසවල එහි වහල මට්ටම දක්වා යට වී ගොස් තිබුණි. ඇතැම් පිරිස් ගස් උඩ පවා නඟිමින් තම දිවි රැකගැනීමට වෙර දරා ඇත. ඇතැම් ප්‍රෙද්ශවල පස් කඳු කඩාගෙන ගොස් තිබුණි. ගංගා පිරී උතුරා යන්නට විය. 2004 සුනාමි තත්ත්වයෙන් පසුව ඇති වූ නැවැතත් විශාල ගං වතුර තත්ත්වයක් මේ අවුරුද්දේ මෙලෙස ඇති විය.



මෙසේ ආපදාවලින් පීඩාවට පත් ජනතාව බේරා ගැනීමට දෙවිවරුන් සේ ඔවුන් පැමිණෙන්නට ඇත. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ගුවන් හමුදාව හා නාවික හමුදාව යන ත්‍රිවිධ හමුදා නිළධාරීන් ඒ උදාර සේවයට එදා ව‍ගෙම අදත් කැප වී කටයුතු කළ ආකාරය අප දෑස් ඉදිරිපිටම දක්නට ලැබුණි. සාමාන්‍ය වැසියන්ගේ දිවි බේරාගැනීමට කවදත් පසුබට නොවී ඉදිරිපත් වන ත්‍රිවිධ හමුදාව මානුෂීය මෙහෙයුම් දියත් කර තිබුණි. අට පාස් එවුන් යැයි හංවඩු ගසමින් සිටි ඒ ශක්තිවන්තයින් නොවන්නට මේ තරම්වත් මිනිසුන්ගේ දිවි ගලවා ගැනීමට නොහැකි ය. යුද කාල සීමාවේ සිටම ඔවුන් අහසින් බට දෙවියන් සේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් පෙනී සිටින ලදී.තම දිවි පරදුවට තබමින් අනෙකා වෙනුවෙන් වෙහෙසවෙන ඔවුන් මිනිසුන්ට නොව සමකළ හැක්කේ දෙවියන්ටය. උගත් බුද්ධිමත් යැයි පාරම්බාමින් ඒ වීරවරයින් අටපාස් නූගතුන් යැයි නන්දොඩවන උන්හට ඒ අභීත ලක් දරුවන් දේවතාවුන් සේ අදවත් පෙනුනේ නම් එය කෙතරම් අගනේ ද? ඔවුන්ගේ ජිවිතය ගැන නොසලකා අසරණ වූ පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් දිවා රැ නොබලා වෙහෙසි එයටම කැප වූ ඔවුන් රටකට අපමණ අගයකි. ගං වතුරට, පස් කඳුවලට යට වූ ජිවිත සොයා ඔවුන් බේරා ගැනීමට ගිය ගුවන් හමුදා සෙබලෙක් පවා මරණයට පත් විය. ගංවතුරට එවැනි දුක් කඳුළු මුසු වී සැඟවී ගියේ ය. එහෙත් මෙම වීරෝදාර රණවිරුවන්ගේ ගුණ එසේ ගසාගෙන යාමට ඉඩදිය නොහැකිය. ඔවුන් කළ මෙහෙය කැපවීම අකුරු කරන්නට නොහැකිය. සිය රටවැසියන් වෙනුවෙන් පෙරට එන අභීත රණවිරුවාණෙනි අප ඔබට සදා ණයගැතිය. ජාතිභේද, ජන්ම භේද, කුලමලභේද නොතකමින් සියලු වැසියන වෙනුවෙන් ඉදිරියට එන්නේ නුඹ මිස අන් කවරහුද? ජනතාවට අත්‍යවශ්‍ය මොහොතේ ඔවුන්ව තනි නොකරමින් ඔවුන් ළඟින්ම සිටින එකම මිහිපිට දෙවියන් නුඹයි. රණවිරුවාණෙනි ඔබට අපගේ උත්තමාචාරය.   

සංඛපාල විහාරය

සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අටකළං කෝරළයේ, තඹගමු පත්තුවේ, සංඛපාල ග්‍රාම නිලධාරි වසමේ පි...