Monday, July 31, 2017

සංඛපාල විහාරය


සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අටකළං කෝරළයේ, තඹගමු පත්තුවේ, සංඛපාල ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇති සංඛපාල රජමහ විහාරය යුග කිහිපයක නිර්මාණයක් ලෙස සඳහන් කිරීමට පුඵවන.
                 අනුරාධපුර යුගය
                 මහනුවර යුගය
                 මෑත යුගය
වශයෙන් ඒවා බෙදා වෙන් කිරීමට හැකිය.


මෙම සංඛපාල රජමහ විහාරය ප්‍රාග් ඓතිහාසික අතීතයකට උරුමකම් කියයි. අනුරාධපුර මුල් යුගයේ ආරම්භ වූ මෙහි කිරිමකු`ඵගොල්ල, හඳගිරිය, පිළිමඇද්ද ආර, යටිමල්කඩුව, බුදුගල, කූරගල, බඹරගල යනාදි ඓතිහාසික ස්ථාන රාශියක් විහාරස්ථානය වටා පිහිටා ඇති අතර, ස්ථාන කිහිපයක් පිහිටා ඇත්තේ මෙම විහාරස්ථානය තුළමය.
ලක්දිව එක්සත් කළ දුටුගැමුණු රජතුමා ලක් ඉතිහාසයේ එදා මෙදා තුර පහළ වූ අසහය දුනුවායාට ඇඹිලිපිටිය පල්ලේබැද්ද ප්‍රදේශයෙන් අක්කර 12000ක භූමී ප්‍රමාණයක් ගම්වරයක් ලෙස පුදන ලදී. එහි මෙතෙක් තමා සතු වු ජයසංඛය නිදන් කර ඵුස්සදේව විසින් සංඛපාල විහාරය ඉදිකරන ලදී. රත්නපුර සිට ඇඹිලිපිටිය දෙසට ගමන් කරද්දී පල්ලේබැද්ද කොළඹගෙ ආර ප්‍රදේශයේ දී හුදකලා කඳුවැටියක් අසල සංඛපාල රජමහ විහාරය පිහිටා ඇත. ඵුස්සදේව විසින් නිදන් කරන ලද ජය සංඛය අදටත් සංඛපාල රජමහ විහාරයේ ඇති බවට බොහෝ දෙනා විශ්වාස කරයි.



පාලි භාෂාවෙන් හක් ගෙඩිය හඳුන්වන්නේ සංඛ යනුවෙනි. සංඛය තැන්පත් කර වූ විහාරය යන අරුත් ඇතිව මෙම විහාරය සංඛපාල විහාරය ලෙස  නම් කරන්නට ඇති බව සිතිය හැකිය. ඵුස්සදේව යෝධයාගේ ජය සංකේතය වශයෙන් සලකන හක් ගෙඩියේ ලාංඡනය වත්මන් ප්‍රධාන විහාරය පිහිටි ගල් ලෙනේ කොටා තිබෙන අයුරු දක්නට ලැබේ. එළාර දුටුගැමුණු යුද්ධයේ දී ඵුස්සදේව යෝධයා විසින් ජය ගොස් නඟන ලදැයි සලකන දක්ෂිණාවෘත හක්ගෙඩිය මෙම ගල මුදුනේ තැන්පත්  කොට ඇතැයි යන විශ්වාසයක් ජනතාව තුළ පවති. සංඛපාල කඳු පාමුල පිහිටි පැරණි ගල්ලෙන් කිහිපයකින් 03ක් මේ වන විට බුදු මැදුරු වශයෙන් සකස් කර ඇත. ඵුස්සදේව රහතන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඉදිකරන ලදැයි සලකන දාගැබක් විහාරස්ථානයට කිලෝමීටර් 2ක් පමණ දුරින් ගල් තලාවක් මත ඉදිකර තිබෙන අයුරු දක්නට ලැබෙන අතර එම ස්ථානය අද ඵුස්සදේව සොහොන නමින් හඳුන්වයි. නිදන් හොරුන් විසින් විවිධ අවස්ථාවල මෙම දාගැබ විනාශ කර ඇති බැවින් එහි සත්‍යතාව සනාථ කර ගැනීම අසීරුය. මීට අමතරව තවත් ගරා වැටුණු දාගැබක් අද දක්නට ලැබෙන විහාරස්ථානයට ඉහළින් දක්නට ලැබේ. මෙය පසුකාලීනව නැවැත සංරක්ෂණය කර ඇත. 1985 වර්ෂයේ සංඛපාල ප්‍රදේශය ආශ්‍රිතව  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගවේෂණයක් සිදු කර ඇත. පොළොන්නරු යුගයේ රාජ්‍ය කළ මහා පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල වැනි රජවරුන්ගේ සමයේ දී ද මෙම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කළ බවක් කියැවේ.
සංඛපාල විහාර භූමිය තුළ  කටාරම් සහිත ගල්ලෙන් රාශියක් ඇති අතර ඒවා ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා භාවනායෝගීව වැඩ සිටි ආවාස කුටි බව කියැවෙයි. කාලයාගේ ඇවෑමෙන් නොයෙකුත් ආපදා වියවුල් නිසා මෙම ලෙන්වල වල් බිහි විය. සංඛපාල විහාරස්ථානය නැවැත ප්‍රතිසංස්කරණය කරන ලද්දේ කරතොට ධම්මාරාම හිමියන් විසිනි. ඉන් පසුව සංඛපාල විහාරයේ  නැවැතත් වල් බිහි විය. පසු කලෙක කදුරුපොකුණේ සුමනජෝති හිමියන්ගෙන් පසුව මහගම සුමනතිස්ස හිමියෝ මෙහි භාරකාරත්වයට පත් වූහ. මේ කාලයේ දී ධර්ම ශාලාවත් සත්සති විහාරයත් සංඝාවාසයත් බෝධි ප්‍රාකාරයත් පියගැට පෙළත් ඉදි විය. ඉන්පසුව භාරකාරත්වය දැරූ අත්තුඩාවේ ගුණරතන හිමියන්ගේ යුගයේ දී  ද විහාරස්ථානයේ විහාල දියුණුවක් ඇති විය.
ඉතිහාසය සමඟ බැඳී පවතින සංඛපාල විහාරය සංචාරකයන්ගේ මෙන් ම වන්දනාමාන කරන සැදැහවතුන්ගේ විශේෂ අවධානය දිනාගන්නා ලදී. පඩි සිය ගණනකින් යුක්ත පර්වතයකින් ද මේ විහාර භූමිය සමන්විත වේ. සංචාරකයන්ට, වන්දනාමාන කරන සැදැහවතුන්ට පමණක් නොවේ පරිසර ගවේෂකයන්ට ද මෙම විහාර භූමිය තෝතැන්නක් බඳුය. යුද ජයග්‍රහණයක උදාරත්වය මෙන් ම අභිමානවත් මහරහතන් වහන්සේලාගේ පහසින් පරම පවිත්‍ර වූ සංඛපාල රජමහ විහාරය අපගේ ඉතිහාසය වර්ණවත් කළ තවත් එක් ඓතිහාසික, පුරාවිද්‍යා වටිනාකමකින් යුක්ත පුද බිමකි.




Tuesday, July 25, 2017

රිදුම් ඇයි මට මෙහෙම......


අන්සතු නුඹ සිතට

පෙමින් බැඳි වරදට

කුමට දොස් පවරනුද

බොළඳ මේ පෙම්සිතට............

සුසුම්ලන හිත් පොඩිය

පතන්නෙම නුඹෙ සුවඳ

අහිමි බව දැන වුනත්

පෙම් බඳී රහසින්ම.................

මගෙන් සමුගෙන දුරක

ඇයි ගියේ නොකියාම

රැඳුණි නම් නෙත් කොනේ

සඟවගමි රහසින්ම..............

කන්දක් තරම් වූ

රිදුම් ඇයි විඳවන්න

බැන්ද පෙම මඳිවීද

බින්දේ මගෙ හද මෙහෙම............  

Sunday, July 16, 2017

සිනමා විචාරය


28 සිනමා කෘතියට විෂය වන්නේ බැලූ බැල්මට සරල ලෙස පෙනෙන වස්තු බීජයකි. කොළඹ සිට ඇළහැර දක්වා ස්ත්‍රියකගේ මළමිනියක් රැගෙන යාම එහි දෘශ්‍යමාන කතා ප්‍රවෘත්තියයි. මළමිනිය හැරෙන්නට මේ සිදුවීමට සම්බන්ධ වන්නේ ද චරිත තුනකි. එහෙත් මෙම වස්තු බීජය ඇසුරින් ජිවිතය පිළිබඳ සියුම් වූත් අනුවේදනීය වූත් අර්ථ සම්භාරයක් මතුකර ගන්නට සමාජය පිළිබඳ පුළුල් කියැවීමක් යටි පෙළ ලෙසින් ගබා ගන්නට ප්‍රසන්න ජයකොඩි සමත්ව සිටී. ප්‍රසන්න තම අත්දැකීම් සෑම විටම දාර්ශනික පසුතලයක තබා ගන්නා සිනමාකරුවෙකි. සංකාරා හා කර්ම චිත්‍රපටවලට දිගුවක් සේ ගත හැකි 28 දඒ අයුරින් ඔහුගේ දාර්ශනික කියැවීමේ මහඟු ප්‍රතිඵලයකි. ඔහු මේ අර්ථ කරා පිවිසෙන්නේ ඉතා සෙමිනි. බැලූ බැල්මට සරල විකාශනයක පිහිටමිනි. එහෙත් සෙමෙන් සෙමෙන් මූලික වස්තු බීජයේ හරය දිග හැරෙන විට අන්තර් සම්බන්ධතා ඇසුරින් චරිතවල හැඩ මතු වන විට ඒ කෙතරම් පෘථුල ජීවන දැක්මකින් හෙබි සිනමා කෘතියක් ද යන්න පසක් වේ.
චිත්‍රපටය ඇරඹෙන්නේ දෝනාවක් පතුලේ පස් හාරමින් සිටින අබසිරිට අසෙන සේ ස්ත්‍රී හැට හතර මායිම් ගැන කියවීමකිනි. මේ හඬ අයිති ඔහුගේ බෑණා මනීට බව පසුව දැන ගන්නට ලැබේ. මේ මොහොතේ හැසිරීම්වලින් අපට ඒත්තු යන්නේ අබසිරි ජිවිතය එතරම් බරපතල ලෙස නොගත් විනෝදයට බර චරිතයක් ලෙසයි. ඒ හා සමඟ ඔහුට අසන්නට ලැබෙන්නේ බිරිඳ සුද්දි මිය ගිය පුවතයි. අපට තවමත්අබසිරිගේ චරිත ස්වභාව පිළිබඳ නිසි අවබෝධයක් නැත. ජිවිතයේ සැඩ පහරට හසුව වියළී ගිය මුහුණකින් හා දේහයකින් යුක්ත මේ වැඩිහිටි මිනිසා ජිවිතයේ බර නොතකන්නකු බව පෙර දැක් වූ පෙරවදන නිසා අප සිතුවද ඒ මොහොතකට පමණි. කෙනේ ඔහුගේ චරිතය විකාශනය වන විට අපට හමුවන්නේ සපුරා වෙනස් මිනිසෙකි. බිරිඳගේ මරණය දැනුම් දෙන්නේ පොලීසිය විසිනි.


ඔහු ඇය වසර පහළොවකින් දැක නොමැති බව ඉන්පසු දැනගන්නට ලැබේ. තමා හැර ගිය ඇය කෙරේ ඔහු තුළ ඇත්තේ කුමන ආකාරයේ සිතුවිලි දැයි අප දන්නේ නැත. එහෙත් බිරිඳගේ දේහය දැකීම සඳහා දුරු කතර ගෙවන්නට ඔහු සූදානම්ය. ඔහු මනී සමඟ මේ දුෂ්කර ගමනට පිටත් වෙයි. අප දකින්නේ කඳු බෑවුම් පසු කරමින් පහළ නිම්නය බලා ධාවනය වන ලොරි රථයක ගමන් කරන අබසිරි හා මනීය. කොළඹ පැමිණි විට ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා ඔවුන්ට පාලනය කළ නොහැකි දේය. රෝහල්වල සුළු සේවක වර්ජනයකි. මිනිය ලබාගැනීම ද පහසු කාර්යයක් නොවේ. කෙසේ හෝ මල් ශාලාවකට මිනිය රැගෙන එනු ලැබේ. අබසිරි තමා හැර ගිය බිරිඳ කෙරේ දක්වන්නට ඇති සෙනෙහස කෙමෙන් විවිරණය වන්නට පටන් ගන්නේ මෙතැන් සිටය. එම්බාම්කරුට මෙය තවත් එක් මිනියක් පමණි. ඉටි රෙද්දකවත් දැම්මොත් නරකද? අබසිරි කෑගසයි. මේ ගෑනිට අගෞරව කරන්නට එපා යනු ඔහුගේ නිරන්තර ඉල්ලීමයි. පසුව ඉටිරෙද්දකින් වසා ඇති දේහය අසලටය යන අබසිරි එය මඳක් ඔසවමින් ඇගේ මුහුණ වෙත සමීප වෙයි. මේ සිදුවීමේ අර්ථ සැපයෙන්නේ පසුවය. ඔහු පළමු වරට ඇගේ නිරුවත් දේහය දකින්නේ ඒ මොහොතේය. ගැමි ගෙදර කළුවරේ සිදුවන සම්බන්ධයක් හැරෙන්නට වෙනත් සමීප වීමක් ඔවුන්ගේ ජිවිතයේ ගිබී නැත.
අබසිරි හා මනී සමඟ එක් වන ලෙනින් ද අමුතු හැසිරීම් රටාවකින් යුක්තය. ඔහු මිනී පෙට්ටිය තම වෑන් රථයේ ගෙන යන්නේ ඒ තුළ මිනියක් තිබෙන බව දැනගෙන නොවේ. අබසිරිහා මනී පළමුව ලෙනින්ගේ රැවටීම ප්‍රීතියට කරැණක් කර ගනිති. එහෙත් ඒ ප්‍රීතියට ආයුෂ නැත. රථය නැවතත් කඳුකරයේ ඉහළ නඟින්නට පටන් ගනී. මළකඳක් සමඟ වුවද අබසිරිට නැවැත ජිවිතයේ ඉහළ බලා යාමකි. මේ ගමන අතර සුද්දිගේ ජිවිතය අබසිරිට දැනෙන්නට පටන් ගනී. ඒ ඇගේ දුරකථනයට එන ඇමතුම් නිසාය. ඇය ශරීරය අළෙවි කළ තැනැත්තියක බව කෙමෙන් අනාවරණය වන්නට පටන් ගනී. එහෙත් ඈ කෙරේ අබසිරිගේ සිතුවිලි වෙනස් වන්නට එය හේතුවක් නොවේ. මනී හා ලෙනින් ඇයි නාවේ මා සොයලා ගීතය ගයන්නට වූ විට අබසිරි ඉමහත් කෝපයෙන් එයට එරෙහි වේ. එහු ඒ ගීතය අසන්නට නොකැමැති බව මනී ද දනී.
ගෙවූ වසර 15 තුළ සුද්දි කිසි විටෙකත් ඔහු සිතින් බැහැර නොගිය බව දනවන සංඥාවකි. මනී පෙට්ටිය කඳු පාමුලකට ඇද වැටේ. පෙට්ටිය තුළ මිනියක් තිබූ බව ලෙනින් දැනගත්තේ ඒ මොහොතේය. එහෙත් ලෙනින්ටද දැන් ඇය තනි කළ නොහැකිය. සුද්දිගේ ගමන් බලපත්‍ර‍යෙන් එහු ඇය හඳුනා ගන්නා නිසාය. ඒ ඔහුද ඇගේ ගණුදෙනුකරුවෙකු බව දනවන ඉඟියකි. අසීරුවෙන් මිනිය ගොඩගන්නා අබසිරි තම කිලිටි සරමෙන් දේහය වසා මිනී ඇඳුම් සෝදන්නට වෙයි. ඇගේ දේහය අන් කිසිවෙකු ඇස ගැටෙනු දකින්නට ඔහු කැමති නැත. කොලු රෑනක් හු කියන විට ඔහු කෝපගන්නේ එය ඇයට කරන අගෞරවයක් ලෙස  සලකාය. ඉතා දුෂ්කර ව්‍යායාමයක් අවසානයේ මිනිය ගෙදරට ගෙන එනු ලැබේ. ඉතා සීරුවට මිනියට රිදේය යන බය ඇතිව මෙන් අබසිරි ඇගේ ඇඳුම් සකසයි. ඉන්පසු දොර අඩක් වසන ඔහු දැන් මිනිය තනිකරන්න වෙලාව යැයි අපට කියයි. මිනියක් තනි නොකරීම සංහලයන්ගේ අවමඟුල් චාරිත්‍රයකි. එසේ නම් එය තනි කිරීමට අබසිරි අදහස් කිරීම අපට බොහෝ සැඟවුණු අර්ථ ගැන සිතන්නට අවස්ථාව දේ.
මේ අත්දැකීම් විකාශනයේ දී සිනමාකරු සැබෑව හා අද්භූතය සම්මිශ්‍රණය කරයි. ඔහු සුද්දිගේ මළකඳ ද චරිතයක් ලෙස අප හමුවට ගෙන එයි. සංකාරා චිත්‍රපටයේ දී යටි සිත චරිතයක සංඥා මාත්‍රයක් ලෙස ගෙන ආ ආකාරයෙන්මය. මෘත ශරීරාගාරය තුළ එක් මොහොතක හැරෙන්නට ඇය සැමවිටම අප ඉදිරියේ පෙනී සිටින්නේ කිසිදු චලනයකින් තොරවය. එක්කෝ නිදාගෙනය. නැතිනම් සිටගෙනය. ඇය සෘජුව බලා සිටින්නේ අප දෙසය. හරියට පාපොච්ඡාරණයක යෙදෙන ලෙසිනි. ඇගේ සෘජු කථන රටාව සමඟ අප ඈ පිළිබඳවත් අබසිරි පිළබඳවත් බොහෝ දේ දැන ගනිමු.
අබසිරි පිළිබඳ සියුම් තරුණ රසයක් අප තුළ මෝදු වන්නේ ඇගේ කතනය නිසාය. මේ උපක්‍රමය සිනමාවට ආගන්තුක නොවේ. සිනමාකරු එහි ආධාරය ලබාගන්නේ සුද්දී හා අබසිරි අතර බැඳීම පමණටම ඇගේ ජිවිතය හා බැඳුණු සෙසු චරිත හා සිදුවීම්ද පිළිබඳ හැගීම් මාත්‍රයක් අප තුළ ජනනය සඳහයි. ඇය නිවස හැර ගිය පසු අබසිරි හා කිසිදු සම්බන්ධතාවක් පවත්වන්නේ නැත .එහෙත් ඇගේ බැගයේ ඔවුන්ගේ මංගල ඡායාරූපය තිබේ. ඇය තමා අපහසුවට ලක්කළ ගැමි ජිවිතය හැර ලොව පැරණිතම වෘත්තිය තෝරා ගත්තද පළමු සෙනෙහස ඇගේ සිතින් බැහැරව නැත. ඇය ද අබසිරි හා සිතින් බැඳී සිටින්නට ඇත. අබසිරි ඇය වෙත දක්වන ආදරය සෙනෙහස මෙන් ම ගෞරවය ද පසු පස ඇති හේතුඵල සම්බන්ධතා අපට කියා දෙන්නේ සුද්දීය. මේ ජිවිතය අප තුළ කරුණා රසය ජනිත කරන්නේත් මේ චරිත හා අපගේ හෘදමය සම්බන්ධතාවක් ගොඩනැඟෙන්නේත් සිනමාකරු නිර්මාණාත්මකව භාවිත කරන මේ උපක්‍රම නිසාය. ඉතා සරල ලෙස පෙනෙන වස්තු බීජයක් ජිවිතය පිළිබඳ පුළුල් අර්ථසමුදායක් සඳහා පාදක වන්නේ ඒ අයුරිනි.
ජිවිතයේ සැබෑව මතුපිට ස්වරූපයෙන් හඳුනාගැනීම අසීරුය. මිනිසුන්ගේ රූපකායන් ඇසුරේ ඔවුන්ගේ අධ්‍යාත්ම හඳුනා ගැනීම අපහසුය. ඒ විවිර වන්නේ සෙසු චරිත හා පවත්වන සම්බන්ධතාවන්හි ස්වභාවය නිරූපණය වන විටය. 28 මේ සාධනීය ලක්ෂණයෙන් යුක්තයි. මේ හුදකලා ජිවිත දෙක ඇසුරේ අපි මනුෂ්‍යත්වය පිළිබඳ අපූර්ව අර්ථ අත්විඳිමු. ප්‍රසන්න කිසි විටෙක ජිවිතය පිළිබඳ සෘජු අර්ථ ප්‍රකාශ කරන්නෙක් නොවේ. ඔහු අප ඉදිරියේ චරිතවල හැඩතල අත්දැකීම හඳුනා ගැනීමට සාධක පමණක් තබා නිහඬ වේ. ඒ යොමුව හා ඒකාත්ම වුවහොත් අපට ප්‍රසන්නගේ ප්‍රකාශනයේ හරය සංකීර්ණතා හා දාර්ශනික හැඩය හසු කරගැනීමට හැකි වේ. ගැටලුව මෙබඳු අත්දැකීමක් විඳින්නට තරම් සිනමා ශික්ෂණයෙන් යුක්ත ප්‍රෙක්ෂකාගාරයක් අද අපට තිබේ ද යන්නයි.
ප්‍රසන්න ජයකොඩිගේ සිනමා බස භාවිතය ද මේ ශික්ෂණයෙන් හා සන්සුන් බවින් යුක්තය. ඔහු භාවාතිෂය තලයට ගෙන ආ හැකි සිදුවීමක් වුවද අති නාට්‍යකාරී වීමට ඉඩ නොතබා සමනය කරන්නේ රූප රිද්මය මගිනි. මෙහි දී ඔහු දුර රූප භාවිත කරන්නේ පරිසරය මේ චරිතවල ඛේදයේ රූපකයක් බවට පත් කිරීමටය. කොළඹ යන විට පුළුල් රූප පෙළක පහළට ගමන් කරන ලොරි රථය ද නැවැත ඇළහැර එනවිට පුළුල් රූප පෙළක ඉහළ බලා ගමන් කරන වෑන් රථයක පසුබිමේ පරිසරයේ චමත්කාරය තිබේ. කොළඹ යන විට අබසිරි තුළ තිබූ සන්සුන් චිත්තය ඇලහැර එනවිට අතරුදන්ව ගොසිනි. ගමනාත්තය වන විට මනී හා ලෙනින් ද වෙනස් පුද්ගලයන් බවට පත් වී සිටි. ඒ වන විට පරිසරයේ සුන්දරත්වය අපට ද අමතකව ගොසිනි. අබසිරිගේ හැසිරීම් මෙන් ම මළ මිනියේ ප්‍රකාශනය සඳහ ද සමීප හා අතිසමීප රූප බහුලව භාවිත වේ. එමඟින් ඔවුන්ට තම ඇතුළාන්තය විවිර කිරීම සඳහා සාත්වික අභිනය යොදා ගැනීමේ අවස්ථාව හිමි වේ. මේ රූපවල චලනය ද සන්සුන්ය. වේගවත් රූප චලන නැති තරම්ය.


රූප සංරචනයේ දී බාහිර සංචලතාවන්ට එක්වීමට තිබෙන අවස්ථා ද අහුරා තිබේ. මේ සංචලතාවන් අප දකින්නේ කොළඹ නගරයේ දී පමණි. ප්‍රසන්න මුළු චිත්‍රපටය පුරා ම විචිත්‍රතාව පාලනය කළ වර්ණ තානයක් පවත්වා ගනී. එය අත්දැකීමේ ඛේදය වඩා උත්සන්න කරයි. මේ ශික්ෂණයෙන් යුත් රූප සංරචනය රූපයට නැඟීමට චන්දන ජයසිංහ දක්වන දායකත්වයත් ඒ රිද්මය සංස්කරණයේ දී වඩා ශක්තිමත් කිරීමට රංගන සිංහාරගේ දක්වන දායකත්වයත් ඉහළ තලයක පවති. සංගීතය භාවිත වන්නේ ඉතා අවමය. ඒ සඳහා උචිත නාද මාලාවක් දේශක බමුණුවැල්ල නිර්මාණය කරයි. අංග රචනයෙන් හා කලා අධ්‍යක්ෂණයෙන් මේ රූප පද්ධතියට උචිත පසුබිම හා වාතාවරණය නිර්මාණය කෙරේ. අබසිරි ලෙස මහේන්ද්‍ර පෙරේරා නැවතත් තම සිනමා ජිවිතයේ අපූර්ව චරිත නිරූපණයක් ගෙන එයි. එක් දිනක් තුළ මේ මිනිසාගේ චරිතයේ පරිවර්තනය මෙන් ම ඇතුළාන්තයේ සැබෑ ස්වභාවය ද මනුෂ්‍යත්වයට සමීපව ප්‍රතිනිර්මාණය කරන මහේන්ද්‍ර අධ්‍යක්ෂවරයාගේ දයාබර දැක්මට ස්ව නිර්මාණ ද එක් කරමින් අබසිරි නොමැකෙන ලෙස සිනමා වංශයේ කඩඉමක් බවට බපත් කරයි. මේ සේමණි ඉද්දමල්ගොඩගේ හොඳම සිනමා රූපණය යැයි සිතමි. චරිතාංග නිළියක ලෙස ඇය මෙතෙක් ප්‍රකට කළ දක්ෂතාවන්හි උපරිම ඵලය සුද්දීය. සෘජුව කැමරාවට කතා කිරීමේ සීමාව තුළ පමණක් රැඳෙමින් මේ ස්ත්‍රිය මුහුණ දුන් ඛේදය බොහෝ ස්ත්‍රීන්ගෙ ඉරණම බවට පරිවර්තනය කිරීමට ඇය සමත් වන්නීය. රූප කායෙන් ද සංවාද උච්චාරණයෙන් ද මදක් වෙනස් හැසිරීම් රටාවෙන් ද ලෙනින් බවට පත් වන සරත් කොතලාවල ගෙන එන රංගනය ද මේ දෙදෙනාට දෙවැනි නොවේ. මනී ලෙස වරෙක කෙළිලොල් ස්වභායත් වරෙක මනුෂ්‍ය ස්වභාවයේ අනුවේදනීය බවත් කැටිකර ගනිමින් සමබර රූපණයක යෙදෙන්නට රුක්මාල් නිරෝෂ් ද සමත් වීම නිසා 28 අපූරු රූපණ පෙළහරක් බවට පත්වේ.
ප්‍රසන්න ජයකොඩි තවමත් සංකාරා ඉක්මවන නිර්මාණයක් කර නැත. එහෙත් 28 ඔහුගේ කර්ම චිත්‍රපටයට ඉදිරියෙන් සිටී. ප්‍රසන්නගේ සිනමා විලාසයන් ඒ ඇසුරේ ගොඩ නඟන අර්ථ සමුදායක් නැරඹීම මෙන් ම විඳීම ප්‍රසන්න ජනක කාර්යයක් වී තිබේ. අප සිනමා කලාව පිළිබඳ අපේක්ෂා බිඳ නොගනිමින් සිනමා රසිකයන් ලෙස තවමත් පවතින්නේ ප්‍රසන්න ජයකොඩි බඳු ජිවිතය සිනමාව මුසු කරමින් මනුෂ්‍ය ස්වභාවය විනිවිඳින සිනමා කලාකරුවන් නිර්මාණකරණයේ යෙදී සිටින හෙයිනි.


ගාමිණි වේරගම              

Saturday, July 15, 2017

අම්බලන්ගොඩින් ලොවට යන අපේකම


කලා පුරවරයක් ලෙස ජාත්‍යන්තර කීර්තියට පත්වීමට ප්‍රධාන සාධකය වූයේ ඈත අතීතයේ සිට මේ දක්වාම පැවැත එන වෙස් මුහුණු කර්මාන්තයයි. අතීතයේ වෙස් මුහුණු කැටයම්කරුවෝ සුප්‍රසිද්ධ කලාකරුවන්ගෙන් සමන්විත පවුල් කිහිපයකට පමණක් සීමා වූහ. කාලයාගේ ඇවෑමෙන් මේ වන විට අම්බලන්ගොඩ නගරයේ සහ ඒ අවට පිහිටි සංචාරක නිකේතන කීපයකම ්මුහුණු කැටයම් කිරීමේ දක්ෂතා හිමි තරුණ කලාකරුවෝ විශාල සංඛ්‍යාවක් විසිර සිටිති. වෙස්මුහුණු කලාව මෙලෙස නොනැසි ආරක්ෂා වීමට ප්‍රධානම හේතුව වශයෙන් සැලකිය හැක්කේ සංචාරක ව්‍යාපාරයයි. දිවයිනේ කුමන ප්‍රදේශයක වෙස් මහුණු කලාකරුවන් සිටියද ඔවුන් කිසියම් හෝ අයුරකින් අම්බලන්ගොඩ වෙස් මහුණු කලාකරුවන්ගේ ආභාෂය ලැබූ අයෙකු වීම නොරහසකි. ලොව ජන කොටස් විවිධ ඇදහිලි සහ විවිධ සංස්කෘතීන් නිරූපණය කරන වෙස්මුහුණු භාවිත කළ බවට සාක්ෂි විවිධ හැඩහුරුකම්වලින් සැකසුණු වෙස්මුහුණු එකී කාර්යයන් උදෙසා භාවිත කර තිබේ.
එමෙන්ම අතීතයේත් වෙස්මුහුණු තැනීමට නොයෙකුත් ද්‍රව්‍ය භාවිත කර ඇත. වෙස්මුහුණු සහ වෙස් නැටුම්වල ආරම්භය ගැන මානව විද්‍යාඥයන් කර ඇති සමීක්ෂණවලින් පැහැදිලි වන්නේ මේ විෂය අත්භූත මිත්‍යා ප්‍රබන්ධයන්ගෙන් ගහණ වූ සංකීර්ණ විෂයයක් බවයි. ගල් යුගය සිට මේ දක්වා මනුෂ්‍යා වර්ගයා ඔවුන්ගේ පියවි ස්වභාවය හඳුනාගැනීමේ ලක්ෂණ සඟවා ගැනීමට ප්‍රයත්න දරා ඇත. මනුෂ්‍යා වර්ගයා වෙස් මුහුණක් පැළඳ හිස සහ මුහුණ ආවරණය රූප ලක්ෂණ දෙවිවරුන්ගේ සහ දේවතාවියන්ගේ රූප ලක්ෂණ ලෙස වෙනස් කර ගැනීමටත්, සතුන්ගේ සහ යක්ෂයන්, ප්‍රේතයන්ගේ රූප ලක්ෂණ ආරූඪ කර ගැනීමටත් පෙළඹී ඇත. ඉන්දියාවේ ජීවත් වූයේ යැයි සැලකෙන සංඛපාල යන මිතා රජෙකු සහ ඔහුගේ බිසවක් වූ ආයුපාල රාජ්‍ය සමයේ සංඛපාල රජතුමාගේ රාජධානියට විරුද්ධව යාබද රටක් විසින් යුද ප්‍රකාශ කළ බවට මිත්‍යා කතාවක් පවති. මේ සමයේ දී ආයුපාල බිසව පුදුමාකාර දොළදුකකින් පෙළින. ඇයගේ දොළදුක වූයේ වෙස්මුහුණු නැටුමක් නැරඹීමයි. නමුත් සංඛපාල රාජධානියේ ජිවත් වු කිසිවෙකුත් වෙස්මුහුණු ගැන හෝ වෙස්මුහුණු නැටුම් කලාව ගැන හෝ දැන නොසිටියහ. වෙස්මුහුණු කලාව සම්බන්ධ ඉතිහාසයේත් සඳහන් වන්නේ ශක්‍ර දෙවිඳුන් ආයුපාල බිසව ගැන අනුකම්පා කර වෙස්මුහුණු සහ එයට සම්බන්ධ ග සකස් කර රාජකීය උද්‍යානයේ තැන්පත් කර තිබූ බවකි. මේ වෙස්මුහුණු පැළඳි නාට්‍යකරුවන් රජ බිසව ඉදිරියේ රංගනයක් ඉදිරිපත් කළ පසු ආයුපාල බිසවගේ දොළදුක සැනෙකින් අතුරුදන් විය.

වෙස් මුහුණු නැටුම්කරු බියකරු පෙනුම වැඩි දියුණු කරනුයේ වෙස් මුහුණු පැළඳ ගයන විවිධ වූ ගීත, දීර්ඝ වූ යාගහෝම ඉදිරිපත් කිරීමෙනි. යකුන් සහ ප්‍රේතයන් පළවා හැරීම ඈත අතීතයේ ගම්බද පෙදෙස්වල පැවැති දුර්භිකෂ, රෝගබියවලට ප්‍රදාන හේතුව වශයෙන් ගම්වැසියන් විශ්වාස කළේ යකුන් සහ ප්‍රේතයන්ගේ බලපෑම ලෙසයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ ලොව පුරා වෙස් මුහුණු පැළඳි නැටුම්, ගැයුම් අවමංග්‍ය උත්සව සහ දරුඵල ලබා ගැනීම උදෙසා භාවිත කර ඇත. පාරම්පරික වෙස්මුහුණු කලාකරුවන්ගේ ජීවමාන නිජබිමක් ලෙස සැලකෙන අම්බලන්ගොඩ නගරයේ ප්‍රධානතම වෙස් මුහුණු කලා සම්ප්‍රදායයන් දෙකක් ඇත. නැසීගිය ආරියපාල ගුරුන්නාස්සේ වෙස්මුහුණු නාට්‍ය කලාව, වෙස්මුහුණු නෙළීම, ගීත ගැයීම, යාගහේම තොවිල් ඉගෙන ගෙන ඇත්තේ තම සීයා වන සුප්‍රසිද්ධ කලාකරුවකු වන ජුවන්වඩු ඔන්දිරිස් ද සිල්වාගෙනි. ජුවන්වඩු ආරියපාල ගුරුන්නාස්සේගේ නැටුම් සම්ප්‍රදාය හඳුන්වනු ලබන්නේ හිරේවත්ත වෙස් මුහුණු නාට්‍යය සම්ප්‍රදාය ලෙසිනි. නැසීගිය ගුණදාස ගුරුන්නාස්සේගේනාට්‍යය කලාව හැඳින්වූයේ මහ අම්බලන්ගොඩ වෙස් මුහුණු නාට්‍යය සම්ප්‍රදාය වශයෙනි. මේ වෙස් මුහුණු කලාකරුවන් දෙදෙනාම ප්‍රකාශ කර ඇත්තේ වෙස් මුහුණක් කඳුරු ලීයෙන් නෙළන විට මානසික සහ ආධ්‍යාත්මික තෘප්තියක් ලබන බවයි. මේ මානසික සහ ආධ්‍යාත්මික තෘප්තිය වෙස් මුහුණු නෙළීමටත්, වෙස් නැටුම සාර්ථකව රංගනයක් ලෙස ඉදිරිපත් කිරීමටත් හැකි වන බවයි.
එමෙන්ම වෙස් මුහුණු නෙළන කලාකරුවන් ඔවුන් භාවිත කරන උපකරණවලට එක්තරා අභිරහස් බලවේගයකින් සමන්විත බවත් ඔවුන්ගේ විශ්වාසයයි. වෙස් මුහුණු නාට්‍යකරුවන් යකුන්, ප්‍රේතයන් සහ භූතයන් රෝගියාගේ ශරීරයෙන් පළවා හැරීමට හැකි බැව් ගම්වැසියන් විශ්වාස කරයි.
v  රාක්ෂ වෙස් මුහුණ
v  නාග රාක්ෂ වෙස් මුහුණ
v  ගරුඪ රාක්ෂ වෙස් මුහුණ
v  ගරා රාක්ෂ වෙස් මුහුණ
v  මහසොහොන් යකා
v  ඊරි යකා
v  කලු යකා
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මනුෂ්‍යයා ලෙඩ රෝගවලට ගොදුරු වන්නේ වා, පිත්, සෙම් කිපීමෙන් ඇතිවන තුන්දොස් නිසා බව විශ්වාසයයි. යකුන්ගේ බලපෑම නිසා මනුෂ්‍යයන්ට වැළ‍ඳෙන රෝග යක්දොස්, ප්‍රේතයින්ගෙන් වැළඳෙන රෝග ප්‍රේතදොස්, භූතයන්ගෙන් ඇති වන රෝග භූත දොස්, ග්‍රහයන්ගෙන් ඇති වන රෝග ග්‍රහදොස්, දෙවියන් කිපීමෙන් ඇති වන රෝග දෙවුදොස් මෙන් ම තමන් අතින් අතීතයේ සිදු වූ පවු නිසා ඇති වන දොස් කර්ම දෝස වශයෙන් විශ්වාස කිරීමට ලක්වැසියෝ ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට පරුදුව සිටී. වා, පිත් සහ සෙම් කිපීමෙන් ඇති වන තුන්දොස් ආශ්‍රිත රෝග සුවපත් කරගැනීමට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කෙරෙහි විශ්වාසය විශේසයෙන්ම ගම්බද ජනතාව තුළ පවති. එමෙන්ම මේ රෝග සමනය කර ගැනීමට භූත විද්‍යා කුම ගැන ද ජනතාව තුළ විශ්වාසයක් පවතින බවට ගම්බද පුදේශවල අදටත් අකණ්ඩව සිදුවන ශාන්තිකර්ම, ජපකර්ම, යාගහෝම, බලි, මන්ත්‍ර හූනියම් සහ තොවිල්, දෙහි කැපීම් ආදියෙන් සනාථ වේ.   
වෛදික යුගයට ඇදී යන මේ විශ්වාස සහ ඇදහිලි සම්බන්ධව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අදාළව සම්භාව්‍ය කෘතීන් වන සුශ්‍රැත සංහිතා සහ චරක සංහිතාවල පවා සඳහන් වේ. මේ සාධකවලින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය සංකල්පය සහ භූත වෛද්‍ය ක්‍රමය ආරම්භ වූ කාල වතවානුවල මෙරට වෙස් මුහුණු නිර්මාණයත්, වෙස් නැටුම් ද ආරම්භ වන්නට ඇති බවයි. මනුෂ්‍යය වර්ගයාට රෝග ඇති කළ හැකි සන්නි යකුන් 18ක් සිටින බවත් එම යකුන්ගේ සිත් සතන් පින වීමෙන් රෝග 18ක් සමනය කළ හැකි බවත් වර්තමානයේ පවා ශ්‍රී ලාංකිකයන් විශ්වාස කිරීමට පුරුදුව ඇත. දකුණු මුහුදු තීරයේ බොහෝ ප්‍රදේශවල වාර්ෂිකව විශාල ජනකායන්ගේ සහභාගීත්වයෙන් උත්සවශ්‍රීයෙන් මුළු මහත් රාත්‍රී කාලයේ සිට පසු දින පහන් වන තුරු දහඅට සන්නිය නැටුම පැවැත්වේ. මෙහි දී යකැදුරා නොහොත් භූත වෛද්‍යාවරයා බොහෝ විට ගම්බද සාමාන්‍ය පුද්ගලයෙකි. නමුත් යක් නැටුමට සහභාගී වීමට අවශ්‍ය වූ විට භූත වෛද්‍යාවරයා හෝ යකැදුරා මනුෂ්‍ය ස්වරූපයෙන් ඈත් වී යකෙකුගේ රෑපය ආරූඪ කර ගැනීමට වෙස් මුහුණක් පැළඳ ගනී. එමෙන්ම රෝගයට අදාළ සන්නි යකාට නියමිත වෙස් මුහුණ සහ අදාළ ඇඳුම් ආයිත්තම් පැළඳ ගනී. ත්‍රාසය, බිය, භක්තිය, විශ්වාසය  ඇති වාතාවරණයක් ඇති කිකරීමට අවශ්‍ය යක් බෙර වාදනයත්, යකැදුරා පැළඳ සිටින ගෙජ්ජිවලින් නිකුත් වන ශබ්දයත් උපකාරී වේ. ගිනිමැල සහ දුම්මල, සුවඳ ව්ලවුන්වලින් ද දහඅට සන්නිය නැටුම පව්ත්වන ස්ථානය අවට ප්‍රදේශයට වඩා විශේෂ වූ ස්වරූපයක් ගනී. මේ අනුව යකැදුරාට තම යක්ෂාවේශය ආරූඪ කර ගැනීමට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ වෙස් මුහුණු කලාකරුවා නිර්මාණය කරන වෙස් මුහුණයි. විවිධ රෝගවලට අධිගෘහිත සන්නි යකුන් 18ට එකින් එක වෙනස් වූ වෙස් මුහුණු නිර්මාණය කිරීමට අම්බලන්ගොඩ බිහි වූ වෙස් මුහුණු කලාකරුවන්ට සිදු වී ඇත. රෝග ලක්සන නිරූපණය කරන වෙස් මුහුණු 18ක් කඳුරු ලීයෙන් කැටයම් කිරීම හ අදාළ වර්ණාලේප කිරීම ඉතාම සංකීර්ණ ක්‍රියාවලියකි. පළපුරුදු වෙස්මුහුණු කැටයම්කරුවන් හට සන්නි යකුන් 18 ගැනත් රෝග ලක්ෂණ ගැනත් මනා දැනුමක් තිබිය යුතු ය.
කෝලම් වෙස් මුහුණු භාවිත කරනුයේ හාස්‍ය ජනිත කරවීම උදෙසාය. සමාජයේ දක්නට ලැබෙන විවිධ චරිත උපහාසයට ලක් කිරීමත්, අධිරාජ්‍ය පාලනය උපහාසයට ලක් කිරීමටත්, කෝලම් නාට්‍ය සම්ප්‍රදාය ශ්‍රී ලංකාවේ භාවිත කරයි. අම්බලන්ගොඩ වෙස්මුහුණු කලාකරුවන් මෙයට අමතරව කෝලම් නාට්‍ය සම්ප්‍රදායට අයත් වෙස් මුහුණු වන ආරච්චි කෝලම,හේවා කෝලම, සංහ කෝලම, මනමේ කතාව සඳහා අවශ්‍ය වෙස් මුහුණු ද නිර්මාණය කරමින් සිටී. මේ වන විට අම්බලන්ගොඩ වෙස්මුහුණු නිර්මාණකරුවන්ට නිසි ඇඟයීමක් හෝ අනුග්‍රහයක් මෙතෙක් ලැබී නැත. ඔවුන්ගේ ආර්ථික ශක්තිය වැඩි දියුණු කිරීමට අම්බලන්ගොඩ වෙස්මුහුණු කර්මාන්තය සුරක්ෂිත කර ගැනීමට රජය විධිමත් වැඩ පිළිවෙළක් කරන්නේ නම් මේ පාරම්පරික කලාව තව දුරටත් නොනැසී පවති.

සටහන

අම්බලන්ගොඩ විශේෂ - ඩබ්. ටී. ජේ. එස්. කවිරත්න                

Sunday, July 9, 2017

ඉර බැසගෙන යන සැන්දෑ යාමේ ..................











පියංගල ආරණ්‍ය සේනාසනය


අම්පාර දිස්ත්‍රීක්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පියංගල ග්‍රාමසේවා වසමේ රජගල ඓතිහාසික කදුවැටියට නුදුරින් පිහිටා ඇති වර්තමානයේ දී පියංගල ආරණ්‍ය සේනාසනය නමින් ප්‍රකට මෙම ශේෂ කන්ද නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා භූමී අතරින් සුවිශේෂී වනුයේ ඓතිහාසික සාධක සහිත ගල්ලෙන් හතළිහක් පමණද පැරැණි දාගැබ් පොකුණු සෙසු පුරාවිද්‍යා ස්මාරක හා ඉපැරැණි ආදීවාසී චිත්‍ර සහිත ස්ථාන රැසක් පැතිරී තිබීම හේතුවෙනි. අම්පාරේ සිට නුවර පාරේ සැතපුම් 30ක් පමණ දුර ගොස් බක්කිඇල්ල, රජගලතැන්න පසුකර වම් පසට වෙන්නට පියංගල ආරණ්‍ය සේනාසනයේ නාම පුවරුව හමුවේ. අම්පාරේ සිට මහියංගනය, මහඔය, බිබිල යන බස්රථවලින් ද රජගලතැන්න, නුගේලන්ද යන බස්රථවලින්ද ගොස් බක්කිඇල්ල කඩමණ්ඩියෙන් බැස ටික දුරක් අම්පාර නුවර පාරේ ඉදිරියට යෑමෙන් පියංගල ආරණ්‍ය සේනාසන භූමීයට පැමිණිය හැකි ය. කටාරම් කොටා බ්‍රාහ්මීය අක්ෂර සඳහන් ලේඛන සහිත ලෙන් 26ක් පමණ භූමිය පුරා විසිරී ඇත. අතීතයේ කටාරම් කෙටූ ලෙන් කීපයක්ම වරිච්චි බිත්ති බැඳ කුටි බවට පරිවර්තනය කොට තිබේ. පළමුවෙන් හමුවෙන ලෙනේ බිත්ති බැඳ දාන ශාලාවක් ලෙසට සකස් කොට ඇත. එල්ලාවල මේධානන්ද හිමියන් මෙහි බොහෝ කාලයක් රැfඳමින් මෙම ලෙන්වල ඇති බ්‍රාහ්මීය අක්ෂර පිටපත් කොට පරිවර්තනය කර තිබේ. පියංගල ආරණ්‍ය සේනාසන පරිශ්‍රය තුළ ගල්ලෙන් 50ට වඩා වැඩි ප්‍රමාණයක් දැකගත හැකි ය.

 









ලෙන් වෙතට පිවිසීමට තනා තිබූ ගලින් කළ පියගැට මෙන් ම මඟ සලකුණු, පැරණි සක්මන් මළුව, පාද ලාංඡනය සහිත ශිලා පලකයන්, ස්ථුපයක් යැයි සිතිය හැකි කඩොලු ගොඩැල්ලක් පැරැණි ගල්කණු ආදිය ද මෙහි වන සෙනසුන පුරා ශේෂව පවතී. පුරාතනයේ මෙම පිවිතුරු වූ වන සෙනසුන සසර ගමන නතර කිරීමේ දැඩි වූ ද පිරිසිදු අධිෂ්ඨානයෙන් යුතු වූ යෝගාචර භික්ෂූන් වහන්සේ වැඩ සිටි ආරණ්‍ය සේනාසනයක්ව පැවැති බවට ප්‍රමාණවත් වූ සාධක සොයා ගැනීමට හැකි වී තිබේ. සසල හදවත නිසල කරවන ස්වභාවික පරිසරයක සොඳුරු වන පෙතක පිහිටියා වූ මෙම ලෙන්වල ගෙවන ජිවිතය තෘෂ්ණාවෙන් තොර වූ බහුභාණ්ඩිකත්වයෙන් තොර වූ සියල්ල අත්හැරීමට හැකි ජිවිතයකි. මෙම ආරණ්‍ය සේනාසනයේ ඇති ඇතැම් ලෙන්වල ඇති සෙල්ලිපි වැදගත් ඓතිහාසික තොරතුරු බොහෝමයක් හෙළි කරයි. මෙම ලෙන් ලිපි විමසීමේ දී ඉතිහාසයේ සැඟවුන තැන් නිරාවරණය වේ. ඒ ලිපි සමස්තයට අනුව දුටුගැමුණු රජතුමා රජිතා නම් බිසවක් සමඟ විවාහ වූ බව කියැවෙයි. අබිතිස්සා දේවිය ඇගේ මව බව ද පැහැදිලි වේ. තවද දුටුගැමුණු රජතුමට බිසෝවරු කිහිපදෙනෙක් සිටි බවත් අගමෙහෙසිය රජිතා බවත් මින් වටහාගත හැකි බව එල්ලාවල මේධානන්ද හිමියන් ප්‍රකාශ කරයි. එසේ ම දුටුගැමුණු රජතුමාගේ දියණිය ගැන ද තොරතුරු හෙළි වේ. ඇය නමින් අබිතිෂය නම් විය. මෙසේ විශාල තොරතුරු රාශියක් එම ලෙන්ලිපි මඟින් පැහැදිලි වේ. ඒ අනුව මෙම සෙහසුන රාජ්‍ය අනුග්‍රහය ලද පුදබිමක් බව සැලකිය හැකි ය. මෙහි ඇති මිහිඳු ලෙන නමින් හැඳින්වෙන ලෙන් කුටිය අඩි සියයකට වඩා දිගුවෙන අතර එහි උස අඩි 60 ට වඩා වැඩිය. පියංගල සෙනසුනෙහි දක්නට ඇති කුඩා ස්ථුපය පෙර පැවැති නටඹුන් වූ ස්තූපයක ශේෂය මත ඉදිකරන ලද්දකි. මෙය ප්‍රමාණයෙන් කුඩා වුවද මෙම වනගත පරිසරයට එක්කරන ලද්දේ චමත්කාරජනක දර්ශනයකි. එහි ම`ඵ පෙතේ සිට බහන් බිමෙහි පෙනෙනා නිල්ලෙන් පිරි අපූර්ව දර්ශනය සිත් සතන් ඇඳ බැඳ තබා ගැනීමට සමත් වූ මනරම් චිත්‍රයක් සේය.

එකල කුරිරු ත්‍රස්තවාදී උවදුරින් නිතරම පීඩාවට ලක් වූ මෙම පියංගල වන සෙනසුනෙහි කඳු ශිඛරය මත වූ ලෙන් කුටි සමීපයට පවා මෝටර් ප්‍රහාර එල්ල වී තිබුණි. එවැනි අනාරක්ෂිත තත්ත්වයක පැවැති නිසාත් සිවුපසය ලබාගැනීමට තිබූ දුෂ්කරතා නිසාත් මෙහි වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේලාට සෙනසුන අතහැර යන්නට සිදු විය. මෙසේ ඓතිහාසික වටිනාකමකින් යුත් ලෙන් ලිපි බොහෝමයක් ඇති මේ පුද බිම ආරක්ෂා කරගැනීම අපේ වගකීමකි. අනාගත පරපුරට ඉතිහාසය ගවේෂණය කිරීමට යමක් ඉතිරි කරදීම අප කළ යුත්තකි.





  

Wednesday, June 28, 2017

ලංකාවේ ප්‍රධාන දේවාල

අප කොයි ආගමකට අයත් වුනත් දෙවියන් වඳින්න අමතක වෙන්නේ නැ. මොකද අපි බෞද්ධයන් වුවත් දෙවියන් වන්දනාමාන කරනවා. ශිෂ්ටාචාරගත වන්නට පෙර සිටම අපි විවිධ දෙවිවරු ඇදහූවා. ඒත් විශ්වාසයත්, භක්තියත් ඇති පුද්ගලයන් අන්වාර්යෙන්ම දෙවියන් යදිනවා. අද වන විට පන්සල්වල පවා දෙවියන් උදෙසා විශේෂ ස්ථානයක් වෙන්කර තියෙනවා. දේවාල, දෙවොල යනාදි නම්ලින් මේවා හඳුන්වයි. බෞද්ධාගමික රටක් වූ ලංකාවට දේව සංකල්පය පැමිණියේ ඉන්දියානු ආභාෂය නිසයි. ඒ පුරාණ රජවරුන් තමන්ගේ අග මෙහෙසිය වශයෙන් ඉන්දියානු කාන්තාවන් සරණපාවා ගැනීම නිසයි. එම ගෙන්වන ලද බිසෝවරුන්ට වන්දනාමාන කිරීමට මෙසේ දේවාල තනවා දෙන ලදී. ඒ අනුව දේව වන්දනාව බෞද්ධයින් අතර ද ප්‍රචලිත වීම නිසාම විවිධ දෙවිවරුන් උදෙසා දේවාල රැසක් ලංකාව පුරාම ඉදිවෙන්නට පටන් ගත්තා.

වර්තමානයේ බෞද්ධ, හින්දු, භේදයකින් තොරව සෑම දෙනෙක්ම වන්දනා කරන ප්‍රධාන දේවාල කිහිපයක් තියෙනවා.
*      රුහුණු මහා දේවාලය
*      මහා සමන් දේවාලය
*      දැඩිමුණ්ඩ දේවාලය
*      පත්තිනි දේවාලය
*      විභීෂණ දේවාලය
*      විශ්ණු දේවාලය
*      මුන්නේශ්වරම් දේවාලය

කතරගම කියන්නේ ලංකාවේ ප්‍රධාන නගරයක්. කිසිදු ආගම් භේදයකින් තොරව බෞද්ධ, හින්දු, මුස්ලිම් යන සියල්ල වැඳුම් පිදුම් කිරීමට එම පූජා නගරයට පියනඟයි. ඒ කතරගමයි. මෙහි ඇති රුහුණු මහා දේවාලයට හිමිවන්නේ විශේෂ ස්ථානයක්. කතරගම මහා දේවාලයේ ඉතිහාසය ඉතා ඈතට දිවෙන්නකි. එකල රජකම් කරන ලද දුටුගැමුණු රජතුමා මේ දේවාලය ඉදිකර තිබේ. මෙම දේවාලය ඉදිකිරීම සම්බන්ධව නොයෙක් ජනප්‍රවාද පවති. ඒ වගේම සිංහල ජනතාව අතර “ කතරගම දෙවියන් නමින් ද හින්දු බැතිමතුන් අතර “ මුරුගන් නමින් ද මේ දෙවියන් හඳුන්වනවා. සෑම වසරකම කතරගමට එන බෞද්ධ, හින්දු, මුස්ලිම් බැතිමතුන් දකින විට කතරගම දෙවියන් පිළිබඳව ඇති විශ්වාසය, භක්තිය පැහැදිලි වෙයි.

සබරගමුව සමන් දෙවියන්ගේ අඩවිය වන්නේ සීතාවක රාජධානියයි. බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයටත් වන්දනාවටත් පාත්‍ර වූ දෙවියන් වන්නේ සමන් දෙවියන්ය. බුදුන් වහන්සේගේ ශ්‍රීපා සලකුණ පිහිටි සමනල කන්ද මෙම දෙවියන්ගේ ප්‍රධාන වාසභූමිය ලෙස සැලකෙනවා. රත්නපුර මහ සමන් දේවාලය මේ දෙවියන් උදෙසාම ඉදිකරන ප්‍රධාන දෙවොලයි. මේ දෙවොලට සතර තවත් දේවාල හතරක් සාදා තිබේ. එනම්,
*      බටහිරින් රත්නපුර මහ සමන් දේවාලය
*      උතුරින් දැරණියගල මහ සමන් දේවාලය
*      දකුණින් බොල්තුබේ මහ සමන් දේවාලය
*      නැගෙනහිරින් මහියංගන මහ සමන් දේවාලය

සිදුහත් තවුසා බුද්ධත්වයට පත්වන අවස්ථාවේ දී සිදු වූ මාර පරාජයේ දී සිදුහත් තවුසා සමඟ රැඳී සිටි එකම දේවතාව වන්නේ දැඩිමුණ්ඩ දෙවියන්ය. එසේ ම තථාගතයන් වහන්සේ පිරිනිවන්පාන අවස්ථාවේ දී සක්දෙව් අමතා ලංකාව භාර කරන ලෙස කීවේ ද දැඩිමුණ්ඩ දෙවියන්ටය. මෙම හේතු කාරණා නිසාම උපුල්වන් දෙවියන් ලෙස හඳුන්වන දැඩිමුණ්ඩ දෙවියන් බොදු ජනතාවගේ ප්‍රසාදයට ලක් වී තිබේ. දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා ඈත අතීතයේ සිටම විවිධ ප්‍රදේශවල පුද පූජා පවත්වා තිබේ. මෙම දෙවියන් උදෙසා ඉදිකර ඇති ප්‍රධාන දේවාලය ලෙස සලකන්නේ අලුත් නුවර  දැඩිමුණ්ඩ දේවාලයයි. මාවනැල්ලේ පිහිටි මෙම දැඩිමුණ්ඩ දේවාලය වසර තුන්සියයක් පමණ ඉක්ම වූ ඉතිහාසයකට හිමිකම් කියයි. එකල රජ දවස සුනේත්‍රා දේවිය විසින් කළ යෝජනාවකට අනුව මේ දේවාලය ඉදිකළ බව කියයි. හොඳට හොඳ නරකට නරක හදවතක් ඇති දැඩිමුණ්ඩ දෙවියන් දුකට පිහිට විය හැකි ශක්තියක් ඇති දෙවියෙකු බව බැතිමතුන් විශ්වාස කරයි. තවත් බොහෝ ස්ථානවල දැඩිමුණ්ඩ දේවාල ඉදිකර තිබුණ ද මෙහි ප්‍රධාන දේවාලය ලෙස සලකන්නේ මාවනැල්ල අලුත්නුවර පිහිටි දැඩිමුණ්ඩ දේවාලයයි.

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රීක්කයේ කඩුවෙල ප්‍රදේශයේ පිහිටි නවගමුව ග්‍රාමයේ පත්තිනි දේවාලය පිහිටා තිබේ. මෙය අතීතයේ දී හඳුන්වා ඇත්තේ නා ගොමුව ලෙසිනි. නා ගස් ගොමුවක පිහිටි නිසා මෙය නවගමුව ලෙස හඳුන්වන්නට ඇත. තවමත් එහි එලෙස නා ගස් පවතී. මේ නම ඇති වීමට තවත් හේතු තිබේ. නවගමුවට ගම් නවයක් එක්වීම නිසා ද නාග ගෝත්‍රිකයන් ගොමුවක් වශයෙන් ජීවත් වීම නිසා ද මෙය නවගමුව වූ බවට මතයන් පවති. පත්තිනි දේවිය වෙනුවෙන් ඉදිකළ දේවාලයක් ලෙස නවගමුව දේවාලය අතීතයේ සිටම බැතිමතුන් අතර ගෞරවාදරයට පත් වී තිබේ.
   
එම දේවාලවලට අමතරව විභීෂණ දෙවියන් උදෙසා කැලණි විහාරස්ථානයේ ඉදිකර ඇති විභීෂණ දේවාලයත්, විශ්ණු දෙවියන් සඳහා බෙල්ලන්විල විහාරයේ ඉදිකර ඇති විශ්ණු දේවාලයත්, හලාවත පිහිටි මුන්නේශ්වරම් දේවාලයත් ප්‍රධාන තන්හිලා ගැනේ. මේවා අතරින් කැලණි විහාරස්ථානයේ ඉදිකර ඇති විභීෂණ දේවාලයත්, බෙල්ලන්විල විහාරයේ ඉදිකර ඇති විශ්ණු දේවාලයත් මෑතකදි ඉදිකරන ලද ඒවාය. නමුත් මුන්නේශ්වරම් දේවාලය රාවණ රජ දවසේ සිට පැවැත එන්නක් බව සැලකේ. එවක රජකළ 06 වන පරාක්‍රමබාහු රජතුමා විසින් මෙම දේවාලය කරවා තිබේ. මෙහි නිතර පුද පූජා කටයුතු සිදු කරන බැවින් මෙහි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණයට ලක්ව තිබේ.


දේව සංකල්ප, දේව විශ්වාස,ඇදහිලි ක්‍රම කුමක් වුවත් එදා මෙන් ම මිනිසා තාමත් දෙවියන් අමතක කර නැති බව කිවමනා ය. තවමත් ඔවුන් සිය ජිවිතයේ කටයුතුවල දී දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරයි. 

Monday, June 26, 2017

පාතාල ලෝක සාමාජිකයන්ගේ නම් හැදුන හැටි.......


අද කවුළුවෙන් අපූරූ ලිපියක් ගැන කතා කරන්න හිතුණා. Googleවල සෙවීම් දී හම්බුණ ඒ රසවත් ලිපිය Channel News 4 හි පළ වූ සුවිශේෂී ලිපියක්. ඉතිං හිතුණා බ්ලොග් අඩවියේ ඉන්න අපේ හිතවතුන්ටත් ඒ ගැන කියන්න. මේ ගැන කතා කරන්න නම් ටිකක් බයකුත් හිතෙනවා. නමුත් මේක හරි රසවත්. මීට දින කිහිපයකට පෙර පාතාලය ගැන කතා බහට ලක් වුණා. ඒ බන්ධනාගාර ගතකර සිටි පාතාල නායකයා වීමට පෙරුම් පිරූ සමයංගේ ඝාතනය නිසා. පාතාල කල්ලියක් විසින් එහි ස්වභාවය පෙන්නුම් කරමින් අමානුෂික ලෙස ඔහුව ඝාතනය කර තිබුණා. සමයං කියන්නේ මෑතකාලයේ නම ගිය පාතාල සාමාජිකයෙක්. අද ද එවැනි නම ගිය පාතාල සාමාජිකයන් ඉන්නවා. ඒත් අපි අද කතා කරන්නේ අද ඉන්න අය ගැන නම් නෙවෙයි. මීට පෙර සිටි පාතාල සාමාජිකයන් ගැන. ආණ්ඩුව එක එක කාලෙට වෙනස් වෙනවා වගේ මේ පාතාල ලෝකයේ රජ කරන චණ්ඩිත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒ චණ්ඩි ජනප්‍රිය වෙලා තියෙන්නෙත් අපූරු නම්වලින්. එහෙම නම්වලින් ජනප්‍රිය වුන ටිකදෙනෙක් තමා වෙලේ සුදා, වම්බොට්ටා, සොත්ති උපාලි, කරාටේ ධම්මික වගේ අය. මේ නම් හැදුනේ කොහොමද කියලා දැනගන්න හරි ආස හිතෙනවා. අපි එහෙම නම් ටිකක් ගැන දැනගමු නේද?










මීට දශක දෙක තුනකට කලින් උපත ලැබූ ගම්පොල විදානේලාගේ වසන්ත කුමාරට සුදා කියලා කියනවා. ඒකට හේතුවක් විදිහට කියන්නේ හොර අරක්කු  ෆැමිලි බිස්නස් එකක් පවත්වන් ගියපු එක තමයි. මේක කරන් ගිහින් තියෙන්නේ ගමේ අහල පහල වෙලක. ඒ හින්දා ඔහු වෙලේ සුදා වෙලා. 80 දශකවල ලංකාවේ පාතාලේ හොල්ලගෙන හිටපු අරඹෙවෙලගේ දොන් උපාලි රන්ජිත්ට සොත්ති උපාලි කියන්නේ පිහිපාරක් වැදීමෙන් අත විරූපී වී ඇති නිසා බව කියයි. කරාටේ ධම්මික පාතාල ලෝකයෙන් එළියට එන්නේ කඩුවෙල වසන්තව ඝාතනය කිරීමත් සමඟ. කලක් යද්දී ලෝකයේ අංක එකට පත්වන ධම්මික පස්සේ අතුරුදහන් වීමට ලක්වෙනවා. මෙම පාතාල රස්සාව කරන්න කලින් ඔහු හොඳ කරාටේ ගුරුවරයෙක්. කරාටේ ගුරුවරයෙක් ලෙස මේ විදිහට ජනප්‍රියත්වය පත් වුන ධම්මික පාතාල ලෝකයේ කරාටේ ධම්මික නමින් හඳුන්වා තිබෙනවා.

වම්බොට්ටා කියන්නේ විහිලු සහගත නමක් වුනත් මොහු දකුණේ පාතාල ලෝකය උණුසුම් කරපු පුද්ගලයෙක්. ඔහු නමින් කිතුල මුල්ල ගමගේ අජිත් වසන්ත කුමාරයි. අජිත් තමන්ගේ දිළිඳු පවුලේ බර කරගහන්න සූරියවැවේ පොළේ වම්බටු විකුණලා තියෙනවා. ඒ නිසා  අජිත් වම්බොට්ටා වෙලා තියෙනවා. ආනමාලු ඉමිටියාස්ගෙ ඇත්ත නම මොහොමඩ් හසන් මොහොමඩ් ඉමිටියාස් ය. ඒ නම මාලිගාවත්ත පාතාලය ගැන කියද්දී නොකියම බැරි නමක්. මොහුද වම්බොට්ටා වගේ ම දුප්පත්කමින් පෙළුණු නිසා කෙසෙල් කරත්තයක වෙළඳාම් කර ඇත. ඒත් මොහුගේ නම සැකසී ඇත්තේ මේ වෙළඳාම නිසා නෙවෙයි. ඕනෙම ප්‍රශ්නකෙදි ලිස්සලා ඇඟ බේරාගැනීමේ හැකියාවක් සහ ඕනම පුද්ගලයෙකුගේ කනින් රිංගලා යන්න දක්ෂකමක් ඉමිටියාස්ට තිබුණලු. ඒ නිසා ආනමාලු වගේ ලිස්සලා යන කියන තේරුම ඇතිව ඔහු ආනමාලු ඉමිටියාස් බවට පත් වෙයි. 2000 මුල් කාලයේ පාතාලය හොල්ලන් හිටියේ තොප්පි චමින්දයි. මොහුගේ සත්‍ය නම ගීකියනගේ රොෂාන් චමින්ද සිල්වා ය. 90 ගණන් තිබ්බ නයිකි, චිකාගෝ බුල්ස් තොප්පි පිස්සුව චමින්දට උපරීමේට තිබුණා. උදේ නැගිට්ට වෙලේ ඉඳන් රෑට නිදාගන්නකම් තොප්පිය ඔලුවෙන් ගලෝල නැති නිසාලු තොප්පි චමින්ද කියන නම වැටිලා තියෙන්නේ.   


මුණියන්ඩි වාප්පු බාලන් හෙවත් තෙල් බාලා කියන්නේ මත්කුඩු ජාවාරම අතින් ලංකාවේ නීතියට හිසරදයක් වෙච්ච පාතාල සාමාජිකයෙක්. මොහුගේ බලපුළුවන්කාරකම ඉන්දියාව දක්වාම පැතිරී තිබිලා තියෙනවා. මොහුගේ මුල් කාලීන ජීවනෝපාය වුනේ තෙල් කරත්තයකින් තෙල් විකිණීමයි. ඒ නිසා ඔහුට තෙල් බාලා කියන නම වැටී තියෙනවා. මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවෙක් ලෙස කල්ගෙවයි. ඔහුගේ ඇස්වල ආබාධය මෙම නම හැදෙන්න බලපාන්නට ඇත. එතැන් සිට ඔහු පොට්ට නවුෆර් ලෙසින් ප්‍රසිද්ධ වී තියෙනවා. 

Wednesday, June 21, 2017

අම්මා




මහා වැසි වසින කොට
පැලක් නැති හේනක
තුරුළු කර උණුහුමට
පුතු රකින අම්මාය
විකුණමින් කීර කොළ 
උපයනා රුපියලෙන්
බනිස් ගෙඩියක් ගෙනත්
ඇගෙ බඩට වතුර බී
මගේ කුස පුරවනා
ඒ මගේ අම්මාය
නූගත් වුවත් ඇය
ගොහින් අද සෙයිලමට
කොපි පොතක් ගෙනත් දුන් 
ඇය මගේ අම්මාය...................

Friday, June 16, 2017

මෙන්න අදහන්න ඕන චරිත




        අද කවුළුවෙන් අපි කතා කරන්න යන්නේ සුපිරි චරිතයක් ගැන. ඇය නමින් ජූලියා විජේසිංහ ය. ජූලියා ඇමරිකාවේ නිව්යෝක් නගරයේ සිට ලංකාවේ අපූරත්වය ලෝකයට රැගෙන යාමට සොඳුරු කෞතුකාගාරයක් නිර්මාණය කළ ඇය වයසින් කුඩා විය. වයසින් බාල වුවත් ඇයගේ අපූරු හැකියාව ගැනයි අපි මේ කතා කිරීමට සූදානම් වෙන්නේ.

            ජූලියා ඇගේ කෞතුකාගාරය ගැන මුලින්ම හැඳින්වූයේ මෙහෙමයි. මගේ කෞතුකාගාරය නම් කරලා තියෙන්නේ “Sri Lankan Art & Culture Museum NY” කියලා. ඒක තියෙන්නේ ඇමරිකාවේ පළවෙනි ශ්‍රී ලාංකික රෙස්ටුරන්ට් එක පටන් ගත්තේ මගේ තාත්තා. රෙස්ටුරන්ට් එක පහළ තට්ටුවේ තමයි කෞතුකාගාරය තියෙන්නේ. ලංකාවේ හැම ආගමක්ම, හැම සංස්කෘතියක්ම, ජීවන රටා වගේ ලංකාව හා බැඳුණු හැම විස්තරයක්ම  කෞතුකාගාරයේ තියෙනවා. මේ අවුරුද්දේ මාර්තු 27 තමයි මේ කෞතුකාගාරය පටන් ගත්තේ. මම ඉපදුනේ නිව්යෝක්වල ක්වින්ස් කියන පැත්තේ. මට අවුරුදු 3 ඉඳන් හැම අවුරුද්දෙම ලංකාවට එනවා. ඒ ආවාම ලංකාවේ ගොඩක් තැන්වල ඇවිදිනවා. ඒ ගියාම තමයි ගොඩක් දේවල් හොයාගන්නේ. මගේ තාත්තා ඉස්සර ඉඳන් ලංකා‍වේ දේවල් එකතු කරන කෙනෙක්. ගෙදරත් හරියට කෞතුකාගාරයක් වගේ. මමත් තාත්තාගෙන් තමයි එකතු කරන්න පුරුදු වුනේ. තාත්තා තමයි මට නිතරම ලංකාව ගැන කියා දෙන්නේ. මටත් ඕණී වුනා ඇමරිකාවේ ඉඳන් ලංකාව වෙනුවෙන් දෙයක් කරන්න. ඒ නිසා තමයි මගේ තාත්තාගෙන් ඇහුවේ මට මෙහෙම කෞතුකාගාරයක් පටන් ගන්න පුළුවන්ද කියලා. නමුත් නීත්‍යානුකූලව ඒක කරන්න අවුරුදු 18 වෙනකම් ඉන්න වුනා. ඒ අනුව තමයි ලංකාවෙන් තව බඩු ගෙනල්ලා මේ අවුරුද්දේ පටන් ගත්තේ. 
                                                             
               මේ කෞතුකාගාරයට ප්‍රතිචාර ලැබිලා තියෙන විදිහත් ඈ විස්තර කරයි. නිව්යෝර්ක්වල මේ ගැන මාධ්‍ය හරහා ගොඩක් කතා බහට ලක් වුණා. නිව්යෝර්ක්වල නගරාධිපතිතුමන් මං ගැන ලියලා තිබුණා. මගේ ඇමරිකාවේ යාළුවෝ නම් කියනවා එයාලා පුංචි කාලේ ඉඳන්ම මම මේ වගේ දෙයක් කරයි කියලා එයාලා හිතුවලු. ඇමරිකාවේ ප්‍රධාන කෞතුකාගාර තියෙන්නේ  නිව්යෝර්ක්වල. හැබැයි මේ වගේ වෙන රටක කෞතුකාගාරයක් නිව්යෝර්ක්වල පළවෙනි වතාවට හැදුවේ මම. ගොඩක් අය මෙතනට එනවා. ලංකාව ගැන දැනගන්න ආසාවට. ඒ ආවාම අපි මේ තැන්වලට ගිහින් තියෙනවා කියලා මතක් කරගන්න අය වගේම ලංකාව බලන්න යන්න ඕනී කියලා තීරණය කරන අයත් ඉනන්වා.ඒ වගේ ම මේ හරහා ලංකාව ගැන ගොඩක් අය දැනගන්නවා. ඒක ලොකු සතුටක්. මට ඕනි ලංකාව මේ වගේ කියලා ලෝකෙටම කියන්න.

               ජූලියා මේ කෞතුකාගාරය පටන්ගද්දී ආව අභියෝගවලට මුහුණ දීලා තියෙන්නේ මෙහෙමයි. ලෝකේ හැම තැනින්ම ගොඩක් අය යන එන තැනක මේ වගේ කෞතුකාගාරයක් කරන එක තමයි මට තිබුණ ලොකුම අභියෝගය. හැබැයි දැන් මාස 3ට ආසන්න කාලයක් තිස්සේ කරන නිසා මට දැන් වගකීමක්, අවබෝධයක් තියෙනවා. ඒ වගේම මෙහෙ මිනිසුන්ගේ සහයෝගය ගොඩක් ලැබෙනවා. ඒ දේවල් එක්ක මං ධෛර්යමත් වෙනවා.
                   ජූලියා ශ්‍රී ලංකාව ගැන හිතන්නනේ මෙහෙමයි. මම ලංකාවේ ඉතිහාසයට, සංස්කෘතියට ගොඩක් ආසයි. ලංකාවට ආවම ඒ ගැන අධ්‍යයනය කරනවා. මම හැම අවුරුද්දෙම අනුරාධපුර ශ්‍රී මහ බෝධියට එහෙම යනවා. මට සිංහල කියවන්න බැහැ. ඒත් මම සංහල අකුරු ලියන්න කැමැතියි. ඒ වගේම මං ලංකාවට යන හැම වතාවෙම අලුත් දෙයක් ඉගෙන ගන්නවා. මගෙ ඇමරිකාවේ යාළුවෝ පවා දැන් කන්නේ එක අතකින් ලංකාවේ වගේ. එයාලත් ගොඩක් කැමැතියි ලංකාවේ සංස්කෘතියට. ලංකාවේ ඉන්න ගොඩක් අයට හැම තිස්සෙම දකින නිසා ලංකාව ගැන ලොකුවට වටිනාකමක් තේරෙන්නේ නැතුව ඇති. ඒත් ලංකාවෙන් පිට ඉන්න අපිට ලංකාව ගැන ලොකු වටිනාකමක්, ආදරයක් දැනෙනවා. මං නම් දකින්නේ මං වගේ පොඩි කෙනෙක්ට පිට රටක ඉඳන් මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ලංකාවේ අයටත් ලංකාවේ ඉදන් මේ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ වගේ ම මං කැමැතියි කියන්න ලෝකේ කොහේ උන්නත් ලංකාවේ අපි හැමෝම එකතුවෙලා ඉන්න ඕනී. අනිත් කෙනෙක් ගැන හිතන්න ඕනී. තමන්ගේ රට වෙනුවෙන්, රටේ මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න ඕනි කියලා. මොකද අපි කරන දේවල්වලින් තවත් කෙනෙක්ගේ ජිවීතේට පුංචිම හරි සතුටක් ගේන්න පුළුවන් නම් ඒක වටිනවා.
                     අරුණි කළුපහන විසින් දිනමිණ දි Y අතිරේකයට ලියන ලද මෙම ලිපිය ලංකාවේ අපිට වැදගත් කියලා හිතුණා. අපි ලංකාව වගේ සුන්දර රටක ඉඳගෙන මොනාද කරන්නේ. අපි අපේ රට විනාශ කරනවා. පිටරැටියන් ඒක තවත් ලස්සන කරන්න උත්සහ කරනවා. අපි ඉන්නේ කොහෙද කියලා මේ ලිපිය කියවද්දී හිතට දැනෙනවා.

                                                                        


                                          (උපුටා ගැනීමකි.)     

Tuesday, June 13, 2017

හදවතේ භාෂාව



           කවිය මිනිසාට මොහොතකට උත්පත්තිය ලබා දෙන්නේ යැයි මතයක් පවතී. එනිසාම කලාව යනු මිනිසා තෘප්. කරනු ලබන සාධකයකි. මිනිසා සංවේදී භාවයට ලක් කරන්නේ කවියයි. මන්ද කවිය යනු හදවතේ භාෂාවයි. ඕමාර් කසියම් නම් දාර්ශනිකයා ප්‍රකාශ කර ඇත්තේ කවිය යනු පෑරුණු තුවාලයකින් නැඟෙන වේදනාවක් දත් පිරුණු මුවකින් නැඟෙන සිනාවක සතුටක් ලෙසයි. මෙමඟින් තුළ පවතින ගැඹුර ඉස්මතු කරයි. ඒ අනුව කවි සිතුවිලි උපත ලබන්නේ මිනිස් හදවතේය. හදවතේ තෙරපෙන හැඟීම් සමුදාය එකට කැටි කොට කවියක් ලෙසින් පිට වේ. කවිය යනු කුමක්දැයි පැහැදිලි නිර්වචනයක් ඉදිරිපත් කිරීම අපහසුය. විවිධ විද්වතුන් කවියා පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් කර තිබේ. එස්.ටී කොල්රිච් ප්‍රකාශ කරන්නේ කවිය යනු, හොඳම වචන හොඳම පිළිවෙලට ගැළපීම යන්නයි. නමුත් කවිය වැදගත් වන්නේ එහි අරුත හරියාකාරව ජනතාවට සන්නිවේදනය කරන ආකාරයෙනි. ගද්‍ය සාහිත්‍යයට වඩා අඩු වචන මාලාවකින් ලියැවෙන කවිය අපූර්ව වූ සන්නිවේදන ක්‍රියාදාමයකි. කවිය ජීවිතයට සෞන්දර්යක් එක් කරයි. මිනිස් සන්තානය හා බැඳුණ ආකල්ප හැඟීම් කවියකට වස්තු විෂය වේ.
          ආදරය, වේදනාව, විරහව, පසුතැවිල්ල, හුදකලාව, පාළුව, කාන්සිය, අසමත්වීම, සතුට යනාදි අප ජීවිතය හා බැඳි මේ භාව ප්‍රකාශයන් ඉතා සියුම්ව ජනතාවට සන්නිවේදනය කිරීමට කවිය සමත් වෙයි. ජීවිත අත්දැකීමේ ප්‍රතිඵලයක් වන කවිය හදවතට බොහෝම සමීප වෙයි. කවිය තුළින් ජනතා හදවතට හඬගානු ලබයි. ජිවිතයේ යථාර්ථය හඳුනාගැනීමට ද කවිය උපයෝගී වේ. තවද රටක සාමය සමාදානය පතුරුවා සංවර්ධනය වීමට කවිය සොඳුරු වූත් ප්‍රබල වූත් සන්නිවේදන ක්‍රියාදාමකි. කවිය විශ්වය සමඟ අත්වැල් බැඳගනිමින් විශ්වයේ සොඳුරු තැන් කරා එබිකම් කරයි. සමාජ, සංස්කෘතික, ආගමික වශයෙන් පමණක් නොව දේශපාලනමය වශයෙන් ද කවි නිර්මාණය වේ. ඒ සෑම නිර්මාණයක දී ම කවියා නිරතුරුව භාෂාව ප්‍රයෝජනයට ගනී. යොදාගන්නා සෑම වචනයකම ඇති වාච්‍යාර්ථය ඉක්මවා යන ව්‍යංගාර්ථය මතුකර ගැනීමට කවියා නිතර උත්සහ දරයි. එහෙත් ව්‍යංගර්ථවත් වූ පමණින් කවියක් චමත්කාරජනක නොවේ. කවියා බොහෝ විට සිය නිර්මාණයට යොදාගන්නේ තමා අත්විඳි දුක්ඛ දෝමනස්සයන්ය. සීගිර ිගීයේ සිට වත්මන් කවිය දක්වාම කවියා සිය කවි සංකල්පනාවන්ට අනුභූතිය කරගෙන ඇත්තේ මිනිසා විඳි වේදනාවන්වල සතුට හා දුක කැටි වූ අඬහැරයකි. කවියා නිතරම පාහේ විරහව කවියට නඟයි. මන්ද? විරහව කවි සිතුවිලි ධ්වනිත කරන භාවාත්මක හැඟීමකි. එසේ ම සොබා සුන්දරත්වය කවියට ප්‍රස්තූත වන අවස්ථා ද සුලභය. පරිසරය ඇත්තේ විඳින්නටය. පුබුදින මලකත්, අතුවිහිදී සෙවණ ගෙන දෙන ගසකත්, සිසිලස ගෙන දෙන දිය ඇල්ලකත් සුන්දරත්වය විඳින්නට මිනිසෙකුට හැකි විය යුතුය. එහෙත් වත්මන් මිනිසා යාන්ත්‍රික වීම නිසා සොබාදහම විඳින්නට අවකාශයක් ඔහුට නැත. එබැවින් මිනිසාගේ සෞන්දර්යාත්මක දැක්ම මොට වී තිබේ. අප ජීවත් වන ස්වාභාවික පරිසරය අපූරුය. එය පුදුමාකාර වූ මැවීමකි. එහි නිතර වෙනස්වන සුළු බව අපව සෞන්දර්යාත්මක අත්දැකීමකට රැගෙන යයි. එය බලා විඳීමට හැකි චමත්කාර වූ අපූරු චිත්‍රයකි. නමුදු, එය විඳිය හැක්කේ කලාකරුවෙක්ට පමණි. ඔහු ඒ දෙස බලන්නේ සියල්ලෝම බලන ඇසින් නොව. ඔහු මේ ලොව සෑම දෙයක් දෙසම කලාත්මක ඇසකින් බලනු ලැබේ. ජලය සිඳී යන ඉතා දුෂ්කර කටුක කාලයට සමුදෙමින් පැමිණෙන්නේ ඇළ දොළ ගංගා පිටාර ගලා යන, මල් ඵලින් බර වුන වෘක්ෂලතාවෝ රඟදෙන මුළු පරිසරයම එකම සැණකෙළියක් බවට පත් වන වසත් කාලයයි. සොබා දහමේ එවැනි වෙනස්වීම ජිවිතයට ඈදා ගනිමින් කවි නිර්මාණයට ප්‍රතිභාපූර්ණ කවි කිවිඳියන් සමත් වෙයි. ජිවිතයේ කටුක කාලය නිමාවෙමින් වසන්තය උදාවන බව පෙන්වා දෙයි. ඒ අනුව කවිය යනු, ජිවිතය යථාර්ථවත්ව නිරූපණය කළ හැකි සන්නිවේදන උපක්‍රමයකි. කවිය යනු, හදවතේ භාෂාවයි. කවියා ආමන්ත්‍රණය කරන්නේ මිනිස් හදවතටයි. 
     


සංඛපාල විහාරය

සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අටකළං කෝරළයේ, තඹගමු පත්තුවේ, සංඛපාල ග්‍රාම නිලධාරි වසමේ පි...