Tuesday, November 8, 2016

වියැකී යන හඬ මාධ්‍ය


විද්‍යූත් මාධ්‍යයක් වන ගුවන් විදුලි මාධ්‍ය ඉතාමත් ප්‍රබල මාධ්‍යයකි. හඬ මාධ්‍ය කරගත් මෙය ශ්‍රව්‍යවාහිනී ලෙස හඳුන්වයි. ග්‍රාහකයන් ඇ බැ තබා ගත හැකි  මෙම මාධ්‍යට ඇස, කන, නාසය යනාදි පංචේන්ද්‍රියන් පිනවිය හැකි මනා ශක්‍යතාවක් තිබේ. ප්‍රබල හඬ මාධූර්යයකින් ජනතාව අමතන ගුවන් විදුලිය එසේ නැත්නම් ශ්‍රව්‍යවාහිනිය මෙරට ජනතාවගේ සිත් සතන් පැහැර ගන්නට සමත් වූ යුගයක් තිබුණි. මිනිස් සිත්හි උපදිනා සිතුවිලි සිය හඬ මඟින් සමාජයට මුදාහරින්නට එකල සන්නිවේදකයන් දැක්වූ කුසලතාව මෙතකැයි කියා නිම කළ නොහැකිය. රූපවාහිනිය, සිනමාව වැනි දෘශ්‍ය මාධ්‍යයන් රූපය, හඬ යන දෙඅංශයම එකතු පාදා කරගෙන මුලු මහත් සමාජයට කතා කළ ද  ශ්‍රව්‍යවාහිනියට හඬ පමණක් මාධ්‍ය කරගනිමින් මුලු විශ්වයම තමා වටා ඒකරාශී කරගැනීමේ අපූරූ හැකියාවක් තිබුණි. පරිකල්පනය වැඩිය හැකි ප්‍රබල බලවේගයක් මේ ගුවන් විදුලි මාධ්‍යට ඇත. එනම්, ශ්‍රාවක සිත් සතන් තුළ ගුවන් විදුලි මාධ්‍ය විසින් නිර්මාණය කරන මනස අතිශය සුවිශාල බවයි. නෙත ගැටෙන රූප නැතිමුත් සවනත වැකෙන මේ හඬ මිනිසාගේ චින්තන ශක්තිය පුළුල් කරන්නට මහත් වෑයමක් දරනු ලැබේ. හඬ, රූප, වර්ණ කවමින් ප්‍රේක්ෂක මනස තුළ චිත්ත රූපයක් ඇඳීමට රූපවාහිනි මාධ්‍ය නොයෙකුත් වෙහෙස දරයි. නමුත් ගුවන් විදුලි මාධ්‍ය සිය හඬ පමණක් උපයෝගී කරගනිමින් ශ්‍රාවක මනස තුළ චිත්තරූප ගොඩනඟන්නේ හුරු පුරුදු සිත්තරෙක් මෙනි. නමුත් මේ වන විට ගුවන් විදුලිය තුළ පැවතුන ශක්‍යතාව ගිලිහී ගොසිනි.
එදා ගුවන් විදුලියෙන් කෙරුන කතාබහ, ප්‍රවෘත්ති, දැන්වීම්, නිවේදන, ගීත, නාට්‍ය මෙන් ම කවියද රසවිඳිය හැකි ය. එහෙත් අද ඒ සියල්ල වින්දනය කළ හැකි ද? නිවේදක නිවේදිකාවන් රැල්ලට මෙන් බිහිවෙයි. ඔවුන් අතොරක් නැතිව සල්ලාපයේ යෙදෙමින් නන් දොඩවයි. ඔවුන් කියන්නේ කුමක්ද යන්න පවා ශ්‍රාවකයාට නොවැටහෙයි. මෙකල බොහෝ දුරට ප්‍රචාරය වන්නේ ඵල රහිත වැඩසටහන් පමණි. එහෙත්, ස්වදේශීය සේවය, වෙළඳ සේවය, රජරට සේවය හා රන්ගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලිය තවමත් මුල් කාලීන පැවැත්ම ආරක්ෂා කරගනිමින් ඔවුන්ගෙන් සමාජයට විය යුතු මෙහෙවර ඉෂ්ට සිද්ධ කිරීමට උත්සහ දරයි. එහෙත්, ශ්‍රාවක රුචිය වෙනස් වීමත් සමඟ මෙම සේවා ශ්‍රවණය කරන පිරිස් ප්‍රමාණය හීන වෙමින් තිබේ. ඒ හතු පිපෙන්නාක් මෙන් දින දින බිහිවෙමින් පවතින FM චැනල් නිසාවෙනි. එය වාණිජ අරමුණු කරා යන ගමනක ඛේදාන්තය සනිටුහන් කරන්නකි. එනම්, අපේ යැයි කිව හැකි ජනාදරයට පත් වූ, ජන හිතකාමී ශ්‍රාවක ආකර්ෂණය දිනාගත් ගුවන් විදුලි නාලිකා බිඳ වැටීමට ලක් වීමයි. මෙමඟින් කිසිඳු සමාජ මෙහෙවරක් සිදු වේදැයි සැක සහිතය. මෙම මාධ්‍ය තුළ සිටින ක්‍රියාකාරිකයන් මේ මාධ්‍ය හඬ මුල් කරගත්තක් බව දැන සිටීනම් එයද සතුටට කරුණකි. මන්ද? ඔවුන්  හඬ ගැන සිතන්නේ ද නැති තරම්ය. හුදෙක් ලාභය හා ජනප්‍රියත්වය පමණක් අපේක්ෂා කොටගත් නාලිකාවක් තුළින් කෙරෙනුයේ සමාජ අවගමනය මිස අන් කවරක් ද? බොළඳ අරුත්සුන් රස වින්දනයට ලොල් වන ශ්‍රාවක සමාජය එම ගුවන් විදුලි නාලිකාවලට දක්වන ඇල්ම වළක්වාලිය නොහැකි ය. ඒ පෘථග්ජන මිනිස් ස්වභාවයයි. මිනිස් යථාර්ථය හඬ මඟින් මනස තුළ තැන්පත් කරමින් ඔවුන්ගේ චින්තන ශක්තිය පුළුල් කරනවා වෙනුවට මිනිසාගේ බොළඳ ආශාවන් සංතෘප්ත කිරීමට වර්තමාන FM චැනල් ඉතා වෙහෙසක් දරයි. අද බොහෝ FM චැනල්වල අසන්නට ලැබෙන්නේ සිංහල භාෂාව පමණකුදු නොව, ඉංග්‍රීසි භාෂාව පමණකුදු නොව ඒ දෙකම මිශ්‍ර වූ සිංග්ලිෂ් භාෂාවකි. එකදු නිවේදකයෙක්වත් සිය මව්බස නිසි ලෙස වහරන්නට නොදන්නේ ය.

සෑම ජනමාධ්‍ය නාලිකාවකම මුඛ්‍ය අරමුණ ලාභය හා ජනප්‍රියත්වය පමණක් වීම මෙම අඳුරු අගාධයට හේතුවයි. එහෙත් විය යුත්තේ එය නොවේ. ජනප්‍රියත්වය තිබිය යුතු ය. එසේ ම සදාචාර සම්පන්න යහපත් මාධ්‍ය සේවාවක් ද තිබිය යුතු ය. එම අංශ දෙකම සමතුලිතව පවත්වා ගැනීම අසීරු බව සැබෑවකි. නමුත් එය මනාව වටහා ගනී නම් එය අපහසු කාර්යයක් ද නොවනු ඇත. මෙකල මාධ්‍යෙව්දීන්ට අතරමැද ගීතය නොතිබුණා නම් සිදුවන තත්ත්වය සිතාගත නොහැකි ය. තාක්ෂණ මහිමය නිසා නිවේදක කාර්යභාරය පසුගාමී තත්ත්වයකට ඇද වැටී තිබේ. වත්මන් නිවේදකයින්ට භාෂාව අත්‍යවශයම නොවේ. එයට එක් හේතුවක් ලෙස මෙම හඬ මාධ්‍ය තව දුරටත් කලාවක් නොවී කර්මාන්තයක් බවට පත්වීම දැක්විය හැකි ය. මෙහි දී මාධ්‍යෙවේදින් උත්සහ ගත්තේ සිය වෘත්තිමයභාවය ආරක්ෂා කරගැනීමට විනා කලාව දියුණු කිරීමට නොවේ. එනිසා ඔවුන්ට සිදු වී ඇත්තේ මාධ්‍ය හිමිකාරිත්වයට අවශ්‍ය දේ මුදුන් පමුණුවාදීම පමණි. එහෙයින් භාෂාත්මක දැනුම, හඬ නිවේදකත්වයට බලපෑම් කරන්නේ නැත. දැන්  මාධ්‍යවේදින්ට පැතිරුන දැනුමක් ද අවශ්‍ය නැත. මේ වන විට මාධ්‍ය සියල්ල අළෙවිකරමින් සිටී. මානුෂීයත්වය පවා අළෙවි භාණ්ඩයක් වී අවසන් ය. නවීන සමාජයේ මාධ්‍ය ඉතා දියුණු කර්මාන්තයකි. එහි භාෂාව නූතනයේ භාවිත කරන්නේ ද ජනතාව මුලා කිරීමටය. තරුණ පරපුරට හුදු විනෝදාස්වාදය පමණක් ලබා දෙන මාධ්‍යයක් බවට ගුවන් විදුලි මාධ්‍ය පත් වී හමාරය. බුද්ධ ධර්මය පිරිහෙමින් යන බව අවබෝධ වූ පසු ධර්ම සංගායනා පවත්වන ලදී. අද හෙටම ගුවන් විදුලි සංගායනාවක් ද පැවැත්විය යුතු බව බැලූ බැල්මට පෙනී යන කරුණකි.  

Friday, November 4, 2016

පරිසරය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී එය කොටස් දෙකකින් යුක්ත ය. එනම් ස්වාභාවික පරිසරය හා සංස්කෘතික පරිසරයයි. රන්මසු උයන මෙම දෙකටම අයත් වේ. මන්ද මෙම පොකුණ නිර්මාණය කරනු ලබන්නේ ස්වාභාවික පරිසරය තුළ ය. මෙහි දී ඒ ආශ්‍රිතව පවතින ස්වාභාවික පරිසරයේ ඇති රමණීයත්වයත් මිනිසා විසින් අද්විතීය ලෙස නිර්මාණය කරන මෙම පොකුණ පිළිබඳවත් අවධානය යොමු කෙරේ. වසරේ මාස නවයක් පුරා පවතින අධික දාහය සමනය කරනු වස් ස්වාභාවික පරිසරයේ නිර්මිත අපූර්ව චමත්කාරය උපයෝගී කරගෙන පොකුණු මෙන් ම උද්‍යාන ඉදි කිරීමට අතීත ලාංකික කලාකරුවාට තිබුණේ අපූර්වතම ප්‍රතිභාවකැයි රන්මසු උයන හෙවත් මඟුල් උයන දෙස බලන්නෙකුට නිතැතින්ම ප්‍රත්‍යක්ෂ වනු නිසැක ය. වර්තමානය වන විට එහි සැකිල්ල පමණක් දිස් වුව ද එහි අතීත විරාජමානත්වයේ නටඹුන් ශේෂව පැවතීම අපට මහඟු දායාදයකි. මේ ජල ශාස්ත්‍රයටත් එහි අංගයක් වූ පොකුණු පැරණි සිංහලයන්ගේ කලා  කෞෂල්‍ය මෙන් ම ඒ සා වූ හැකියාවන් මොනවට පිළිබිඹු කරන්නකි. අනුරාධපුර යුගයේ ඉදි වූ පොකුණු අතර රන්මසු උයන ප්‍රධාන තැනක් ගනී. එයට හේතුව වන්නේ තාක්ෂණික වශයෙන් මෙම පොකුණේ ඇති විශිෂ්ට භාවයයයි. පුරාවිද්‍යාත්මක හා සාහිත්‍යමය යන මූලාශ්‍ර ඇසුරෙන් රන්මසු උයන පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව පුරාවිද්‍යාත්මක වශයෙන් ශිලා ලිපි මීට නිදසුන් සපයයි. එනම් 4 වන මිහිඳු රජු විසින් ස්ථාපනය කරන ලද වෙස්සගිරි ශිලා ලිපියෙන් රන්මසු උයන පිළිබඳ තතු අනාවරණය වී තිබේ. සාහිත්‍යමය අතින් ගත් කල මහාවංශයෙන් හා සද්ධර්මාලංකාරයෙන් ද මේ තොරතුරු අනාවරණය කර ගත හැකි ය. ජනප්‍රවාද සඳහන් පරිදි මෙම උද්‍යානය ස්වාභාවික සුන්දරත්වය අතින් අනූන ය. ජනප්‍රවාදවල දක්වා ඇත්තේ මෙසේ ය.
“හෝපළු, මුරුත, පලොල්, අගිල්, නා, අරලිය, වැනි පුෂ්ප වෘක්ෂයන්ගෙන් සැදුම් ලත් නෙක විසිතුරු මේ පුෂ්ප උද්‍යානයේ පොකුණුවල ඉතාමත් අලංකාර කණක පැහැයෙන් යුත් මත්ස්‍ය විශේෂයක් සිටින නිසා මේ උයන රන්මසු උයන නමින් ප්‍රසිද්ධ විය. අනේක විධ තුරුලතාවන්ගෙන් ද අලංකෘත මේ පුෂ්පයන්ගෙන් ද මෙම උද්‍යානය පූර්ණය වී තිබේ.”


       








වෙස්සගිරි ශිලා ලිපියේ විස්තර වන ආකාරයට තිසා වැවේ බැම්මට පහළින් පිහිටා ඇති පොකුණුවලට ජලය ගෙන යන ගඩොලින් තැනූ ඇළ මාර්ග ද අනුරාධපුර රජවරුන් පරිභෝජනය කළ උයන මඟුල්  උයන හෙවත් රන්මසු උයන ලෙසය.” මෙය අක්කර 40 ක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී ඇති උයනකි. රන්මසු උයනේ ව්‍යාප්ති ප්‍රදේශය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී මෙහි උතුරු දෙසින් මිරිසවැටි විහාරය දක්වා ද, දකුණු දෙසින් ඉසුරුමුණි විහාරය දක්වා ද, බටහිරින් තිසා වැවේ වැව් තාවුල්ල දක්වා ද, විසිරි පැතිරී ඇති බව මහාවංශ ටීකාව සඳහන් කරයි. නැගෙනහිර ප්‍රදේශයේ කිසිදු ආරාමයක් නොතිබූ නිසා රන්මසු උයනේ ව්‍යාප්තිය වැඩි දුරටත් නැගෙනහිර ප්‍රදේශය කරා පැතිරී ගිය බවට පුරාවිද්‍යාත්මක නටඹුන් සනාථ කරයි. මෙම උයන සුන්දරත්වයෙන් හෙබි මනරම් පරිසරයකින් යුක්ත වි තිබේ. ඉතා විශාල භූමී භාගයක පිහිටා ඇති මෙම උයන පරිසරයට එක් කරන ලද්දේ චමත්කාරයකි.
           මෙම නිර්මාණයේ ආරම්භය කවර දවසක සිදු වූවා ද යන්න අවිනිශ්චිත ය. නමුත් පුරාවිද්‍යාඥයන්ගේ අදහස වන්නේ මෙම උයනේ ගොඩනැගිලි බොහෝමයක් ක්‍රි.ව 9-10 සියවස්වලට අයත් වූවක් බවයි. උද්‍යානයේ සැලැස්ම අනුව මෙහි ඉදිකිරීම් කලින් කලට ක්‍රමිකව සිදු වී ආකාරයක් දැකිය හැකි ය. කෙසේ නමුදු මෙම උයන දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ සිට අනුරාධපුර රාජධානියේ අවසානය දක්වා රාජ්‍ය හෙබ වූ රජුන්ගේ විනෝදකාමී ජිවිතයේ සුඛ විහරණය සඳහා භාවිතා වූවක් බව මහාවංශ ටීකාවේ සහ පුරාවිද්‍යාත්මකව තහවුරු වී ඇත.

මෙම උයනේ සැලැස්ම පිළිබඳව අපගේ අවධානය යොමු කරන විට පුරාණ කලාකාමීන්ගේ කලාත්මක කුසලතාවය පිළිබිඹු වේ. මෙම උයන පාරිසරික සුන්දරත්වය විදහාපාන්නකි. ඒ සඳහා පුරාණ කලාකරුවා උපයුක්ත කරගනු ලබන්නේ පොකුණ සකස් කිරීමට යොදා ගන්නා වූ භූමී ප්‍රදේශයයි. ඉතා මනරම් වූ භූමියක් තෝරා ගන්නා ඔවුන් මෙම උයනට ජලය සපයා ඇත්තේ තිසා වැවේ මොහොල්නග නම් සොරොව්වෙනි. මෙම ශිලාමය පොකුණු පද්ධතිය කරා තිසා වැවේ සිට ජලය රැගෙන එන්නේ අඩි 2650 තරම් දිග ගඩොලින් නිර්මාණය කළ විවෘත කාණු පද්ධතියකිනි. එම සොරොව්වේ සිට දකුණු අතට ගලා යාමට තනා ඇති ජල මාර්ග දිගේ එන ජලය පොකුණට මැදි කොට තැනූ කෙලගෙය නම් ගෘහය ද එතැනින් ඇතුන් දිය නාන කැටයමින් යුත් පොකුණට ද එය පසු කර ඊට දකුණින් පිහිටි විශාල පොකුණට ගලා ගිය අයුරු දිස් වේ. එසේ ම මෙම පොකුණු එකිනෙකට එකක් පොළොව යටිනුත් මතුපිටිනුත් සම්බන්ධ කොට ඇත්තේ වර්තමාන තාක්ෂණය පවා අභිබවා යාමට තරම් කලාත්මක නෛපුණ්‍යතාවයක් හෙළ කලාකරුවාට තිබූ බව විශද කරවමිනි. මේ පොකුණු පිළිබඳව ගවේශණයක යෙදුණු එච්.සී බෙල් මහතා පවසනුයේ මෙම පොකුණුවල ජල මාර්ග පද්ධතිය මිනිස් සිරුරේ ස්නායු පද්ධතියට සමානකමක් උසුලන බවයි.
           මෙවැනි අතිවිශිෂ්ට සියුම් කලාවක් නිර්මාණය කරන්නට තරම් අතීත හෙළ විරුවාට තිබූ නෛසර්ගික කෞෂල්‍ය මෙමඟින් ස්ඵුට කරන අතර ඔවුන්ගේ එම නිර්මාණය ස්වාභාවික පරිසරයට එක් කරන ලද අපූරත්වය කියා නිම කළ නොහැකි ය. එමෙන් ම ශිලා පොකුණු ආසන්නයේ ගල්කුළුණු දෙකක් යා කොට ගල් පුවරු අතුරා ඒ මත සකස් කරන ලද ගොඩනැගිල්ලක අවශේෂ අදට ද දක්නට ලැබේ. එම ගොඩනැගිල්ල අසල ඇති ස්වාභාවික පාෂාණ උද්ගත සකස් කොට නිර්මාණය කරන ලද කුඩා ලෙන් කිහිපයක් දැකිය හැකි ය. එහි එක් ලෙනක බිත්තියක නෙලා ඇති සියුම් රේඛා සහිත සංකේත චක්‍ර හෙවත් විශ්ව චක්‍රය ලෝකප්‍රසිද්ධ නිර්මාණ අතරට ගැනේ. මෙම කලාකෘතියේ තවත් විශේෂිත ලක්ෂණ ගණනාවක් තිබූ බවට ශේෂව පවතින නෂටාවශේෂ සාක්ෂි සපයයි. 
            රන්මසු උයනේ අපගේ අවධානය යොමු කිරීමේ දී කාගේ වුව ද චිත්ත ඒකාග්‍රතාවයට හසු වන්නේ වීරප්‍රසිද්ධ අමරණීය පෙම් පුවත සාලිය අශෝකමාලා ප්‍රේම වෘත්තාන්තයයි. දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමාරයා චණ්ඩාල කුලයෙහි උපන් රූමතිය වූ අශෝකමාලාවන් ප්‍රථම වරට නෙත ගැටෙන්නේ මෙම රන්මසු උයනේ දී ය. රන්මසු උයනෙහි පොකුණුවලට ජලය සැපයූ තාක්ෂණය පොකුණුවල නිර්මාණශීලිත්වයට නොදෙවෙනි ය. රන්මසු උයනෙහි පොකුණු පිහිටා ඇත්තේ තිසාවැචේ ජල මට්ටමේ සිට අඩි තිහක පමණ පහතිනි. එනිසා තිසා වැවට යාබදව පිහිටිය ද සෘජුවම විවෘත ඇළ මාර්ගයක් ඔස්සේ ජලය ලබාගැනීම කළ නොහැක්කකි. මෙනිසා තිසා වැවේ සිට දිවෙන ජල උමං පද්ධතියක් ඔස්සේ ජලය ලබා ගත් බවට සිතිය හැකි උවත් එවැන්නක් මෙතෙක් සොයාගෙන නොමැත. තව ද පොකුණු වැව් බැම්මට පහතින් පිහිටි නිසා දැවැන්ත පීඩන වෙනසක් වැව් ජලයේ හා පොකුණුවල ජලයේ ඇති වේ. මෙකී පීඩනය යටතේ ජලය ගලා ගියහොත් පොකුණුවල ස්නානයට සුදුසු තත්ත්වයක් ඇති නොවේ. එනිසා උමං පද්ධතිය තුළ දී ජලයේ පීඩනය අඩු කිරීමට උපක්‍රම යොදා තිබිය යුතු අතර උමං බිත්ති අධික පීඩනයට ඔරොත්තු දෙන පරිදි නිමවා තිබීම ද කළ යුත්තකි. රන්මසු උයනේ පොකුණුවලට ජලය සැපයූ ආකාරය පුරාණ ඉංජිනේරු තාක්ෂණයේ මහිමය කියාපාන්නක් වන්නේ එනිසාවෙනි. දිය අගලකින් වට වූ ගොඩනැගිල්ල ඇතැම් විට රාජකීයන්ට තාවකාලිකනවාතැන් සැපයූ ස්ථානයක් විය හැකි ය. ප්‍රධාන ගොඩනැගිල්ලට අමතරව පරිවාර ගොඩනැගිලි දෙකක නටඹුන් ද මෙහි දක්නට ලැබේ.
               තිසා වැවේ වෑකන්දේ පිහිටා ඇති ජල ටැංකිය අසල දක්නට ලැබෙන ස්වර්ණ මත්ස්‍යයින් සිටින උද්‍යාන භූමිය රන්මසු උයනයි. ජල ශාස්ත්‍රයේ අද්විතීය නිර්මාණයක් ලෙස සැලකෙන මෙම උද්‍යාන භූමිය ස්වාභාවික සුන්දරත්වයෙන් ද  පරිපූර්ණ වී තිබේ. තිසාවැවේ සීතල සුළං දහරාවන් ගෙනෙන සිසිලස නරඹන්නාට ගෙන දෙන්නේ ආශ්වාදයකි.
              මෙම උයන වෙහෙසින් විඩාවට පත් සිතටත් ගතටත් ඉමහත් ප්‍රබෝධයක් ගෙනදෙන්නක් විය. මෑතින් ඉසුරුමුණි චෛත්‍යය දැකීමෙන් ජනිත වන දහසක් සිත් පහන් කරවන හැඟීම් ඔස්සේ වෑකන්දේ ගමන් කරන අපගේ මනස සුවපත් වෙයි. වෑකන්දෙන් බැස උයනට ඇතුලු වී පර්වතය නැඟ අවට පරිසරයේ රමණීයත්වය නැරඹීය හැකි ය. මෙහි ගලෙන් නෙළන පොකුණේ කෙළවර මණ්ඩපයක් ද වෙයි. මණ්ඩපය දෙපස නෙළන ලද ජල ක්‍රීඩා කරන හස්ති සමූහයා දැක්වෙන විචිත්‍ර කැටයම හෙළ කැටයම් කරුවාගේ අමරණීය කීර්තිය විදහාපාන්නක් වැනි ය. මෙතනට උතුරු දෙසින් පිහිටි දිය අගලෙන් වට වූ අටපට්ටම් හැඩය ඇති ගොඩනැගිලි තුනක අත්තිවාරම් ද දක්නට ලැබේ.  මෙහි ඇඳ ඇති විශ්ව සිත්තම තුළින් අතීත ජනතාව විශ්වය පිළිබඳව දැන සිටින්නට ඇතැයි අනුමාන කළ හැකිය.
            රන්මසු උයනෙහි පවතින ස්වාභාවික සුන්දරත්වය නිසා ම මෙම උද්‍යානය නැරඹීමට පැමිණෙන පිරිස එකල අති මහත් ය. මෙහි ඇති පොකුණ විශ්මිත නිර්මාණයක් වුව ද ඒ සඳහා යොදා ගත් භූමිය එයට ඉතාමත් යෝග්‍ය වේ. අක්කර 40 ක භූමි ප්‍රදේශයක ව්‍යාප්තව තිබෙන මෙම භූමිය ගස් කොළන්වලින් පිරී පවතී. මෙම පොකුණු එම ගස් කොළන්වලින් පිරී පවතින භූමියට අලංකාරයක් එක්කරන ලදී. මානෙල් මල්වලින් පිරි වැවක, බාධක හමුවේ ගලා හැලෙන ගංගාවක හා කඩා හැලෙන දිය ඇල්ලකට නොදෙවෙනි සුන්දරත්වයක් ලස්සනක් එක්කරන්නට මෙම පොකුණුවලට හැකි විය. සාලිය අශෝකාමාලාවන් හමු වු මෙම උද්‍යානය අනෙකුත් පෙම්වතුන්ට ද පාරාදීසයක් මෙන් විය. මංගල දිවියට පා තබන නව යුවතිපතීන් තම  ඡායාරූප ගැනීමට පැමිණෙන ස්ථානයක් ලෙස ද මෙම උයන හැඳින්විය හැකි ය. ඉතා මනරම් වූ පොකුණු ද සීරුවට කරන ලද සිතුවම් ද මහා ගල් පර්වත ද මෙන් ම නානා විධ වූ නොයෙක් ගස් වැල්වලින් ද පරිපූර්ණ වූ මෙම උද්‍යානය ඡායාරූපකරණයට ඖචිත්‍යය වන්නේ ය.
                මෙම ඡායාරූප එයට සාක්ෂි දරනු ඇත. මෙම ඡායාරූප අද මෙම උයන දක්නට ලැබෙන ආකාරය පෙන්නුම් කරන ලබයි. අදද මෙය මෙවැනි සුන්දරත්වයක් මතුකරයි නම් එදා මෙම උද්‍යානය කෙතරම් සුන්දරත්වයක් උසුලන්නට ඇති ද? මෙම අසිරිය දැකබලා ගැනීමට එදා මෙන් ම අද ද පිරිස් පැමිණේ. අද පැමිණෙන පි පිරිස අතර වැඩිපුර දක්නට ලැබෙන්නේ විදේශ සංචාරකයන් ය. ඔවුන් මෙහි පැමිණ එහි අසිරිය ඡායාරූප ගත කරන අතර එම සුන්දරත්වය පිළිබඳ තොරතුරු එකතුපාදා කරගනී. ශ්‍රී ලාංකික වැසියන්ට වඩා මෙම සොබා දහමට ඇළුම් කරන විදේශිකයන්ට මෙම උද්‍යානය ඉතාමත් ආශ්වාදනීය වේ. සන්ධ්‍යා සිරි නරඹමින් තිසා වැවේ වැව් කණ්ඩිය දිගේ ඇවිද යන සංචාරකයාට මෙම උද්‍යානය එක්කරනු ලබන්නේ මහත් වූ සොම්නසකි. මුළු සිත මෙන් ම ගත ද නිවා සනහාලන ඉසුරුමුණි රජමහ විහාරය යාබදව පිහිටා ඇති මෙම රන්මසු උයන රන්වන් මත්ස්‍යයන්ගෙන් අලංකාර වී තිබුණි. සිත් පහන් කරගෙන පැමිණෙන සංචාරක ජනතාව මෙම උයන අසල දී මහත් සොම්නසට පත් වන්නේ මෙම නිර්මාණශීලීත්වය හා ස්වාභාවික වටිනාකම නිසා ය.
                  නිල්වන් වූ අහස නිල පුරවාගෙන බලා හිඳින්නේ අනුරාධපුර ශ්‍රී විභූතිය දකින්නට බව කිව මනා ය. ශ්‍රී ලාංකික අපට අවැසි වූයේ කෙසේවත් ලියා හෝ බලා අවසන් කළ නොහැකි අතීත අභිමානයේ ජය ඝෝෂාවයි. මීට වසර ගණනකට පෙර ගල් කුළුණු සමඟ ඔට්ටු වූ අභීත මිනිසාගේ සක්‍යතාවය හෙළි කරන අතර ඔවුන් පරිසරය සමඟ බැඳි ළබැඳියාව පෙන්නුම් කරයි. උයනක් නිර්මාණය කිරීමට උචිත භූමීයක් තෝරා ගැනීමේ පටන් පෙන්නුම් කරන්නේ ඔවුන් ස්වාභාවික පරිසරයට දැක් වූ ඇල්මයි.
                 ජනප්‍රවාදවලට අනුව එදා සාලිය හා අශෝකමාලා ප්‍රේමයෙන් බැඳී ඇත්තේ මෙම උද්‍යානයේ දී ය. ඒ මෙසේ ය. සන්ධ්‍යා සිරි නරඹමින් ඇවිද යන සාලිය කුමාරයාට ඈත තියාම මධුර මනෝහර කට හඬකින් ගී ගයන හඬක් ඇසී ඒ ගැන විමසිලිමත් වන විට එය ඇසෙන්නේ පහළින් ඇති රන්මසු උයනින් බව වැටහුනේ ය. ගී හඬට වශී වුණු කුමාරයා තමන් යන්නට ආ ගමන මොහොතකට අමතක කර දමා මියුරු හඩින් මේ ගී ගයන්නේ කවුරුන්දැයි දැන ගැනීමේ කුහුල් සිතින් රන්මසු උයනේ ඒ ගී හඬ ඇසුණු දෙසට පියමන් කළේ ය.
හෝපළු, මුරුත, පලොල්, අගිල්, නා, අරලිය, වැනි පුෂ්ප වෘක්ෂයන්ගෙන් සැදුම් ලත් නෙක විසිතුරු මේ පුෂ්ප උද්‍යානයේ පොකුණුවල ඉතාමත් අලංකාර කණක පැහැයෙන් යුත් මත්ස්‍ය විශේෂයක් සිටින නිසා මේ උයන රන්මසු උයන නමින් ප්‍රසිද්ධ විය. අනේක විධ තුරුලතාවන්ගෙන් ද අලංකෘත මේ පුෂ්ප උද්‍යානයේ එක් කෙළවරක පිහිටියේ මහින්ද මහ රහතන් වහන්සේ මොහොතක් විවේක සුවයෙන් ගත කළා යැයි සැලකෙන ඉසුරුමුණි විහාරයයි.      
මධුර මනෝහර කර්ණ රසායන ගී හඬ ඇසෙන්නේ මලින් බරවුන හෝපළු රුකක් මුදුනෙනි. මියුරු කටහඬ වගේ ම රූ සිරියෙන් ද අග තැන්පත් සුරලියක් හෝපළු මල් නෙළමින් සිටින අයුරු දුටු සාලිය කුමාරයාගේ සිත මඳක් තිගැස්සිණ. මෙලෙස සාලිය අශෝකමාලා ප්‍රේම වෘත්තාන්තය ආරම්භ වුව ද මෙහි දී එම කතා පුවත යොදා ගනු ලැබුවේ මෙම උද්‍යානය තුළ පවතින සොබා සුන්දරත්වය කියා පෑමට ය. ඉහත දැක්වූ පරිදි අනේක විධ තුරුලතාවන්ගෙන් ද කණක පැහැයෙන් යුත් රන්වන් මසුන්ගෙන් ද අලංකාර වූ පුෂ්පයන්ගෙන් සැදුම්ලත් මෙම උද්‍යානයෙහි පවතින ස්වාභාවික සුන්දරත්වය මොනවට කියාපානු ලැබේ. බෙල් මහතා ප්‍රකාශ කරන පරිදි මෙම උයන රාජකීය උද්‍යානයකි. රාජකීයන්ගේ උද්‍යානය ලෙස සැලකෙන මෙම ස්ථානය උද්‍යාන ලක්ෂණවලින් යුක්තය. රාජකීයන් සිය විවේක සුවය ගත කිරීමට මෙම උද්‍යානය යොදා ගන්නට ඇත. ඉතා විශාල භූමී ප්‍රදේශයක පිහිටා තිබෙන මෙම උද්‍යානය උද්‍යාන ලක්ෂණවලින් යුක්ත බව එනම්, ගස්වැල්, සතුන්, පුෂ්ප හා පොකුණුවලින් යුක්ත විය. බොහෝ දෙනාගේ අවධානයට මෙම රන්මසු උයන පාත්‍ර වී තිබේ. එකල මෙම උද්‍යානය නිතර සංචාරක ඇස යොමු වී තිබුණු පාරිසරික ස්ථානයකි. සුන්දරත්වයෙන් හෙබි මෙම ස්ථානයේ අසිරිය විඳින පුද්ගලයෙකුට එය මනහර කවි සංකල්පනා පහළ කරන්නකි. මන්ද? උයනට ඉහළින් තිසා වැවත්, මෑතින් සුපහන් සිත් ජනිත කරවන ඉසුරුමුණි විහාරයත්, රන්වන් මසුන් හැඩ කරන පොකුණුත්, පුෂ්පයන්ගෙන් සමන්විත මනරම් දිය දහරත් මෙන් ම නේක විධ වූ වෘක්ෂලතාවන්ගෙන් ද පූර්ණය වී ඇති නිසාවෙනි.


                ථුපාරාමය, ශ්‍රි මහා බෝධිය, ජේතවනාරාමය ආදී ස්ථාන පිළිබඳව කොතෙකුත් ලියවුණ ද මෙම රන්මසු උයන  පිළිබඳව බොහෝ ලේඛකයන්ගේ පන්හිඳ මෙහෙයවනු ලබා ඇත්තේ ඉතා ම කලාතුරකිනි. මෙම උයනේ පවතින විශේෂත්වය වන්නේ මෙය නිර්මාණය කිරීමේ දී අවට විසිරී පැවැති ගල් පර්වත උපයෝගී කර ගැනීමයි. ඒ අනුව එහි එක් ගල් පව්වක දෙපසින් නාන තටාක තුනක් ද, ආසනයක් සහිත ගල් ලෙනක් ද දැකිය හැකි ය. එහි පොකුණක නෙළා ඇති ඇතුන්ගේ රූප ඉතා දැැකුම්කළු ය. පොකුණ කරා ගල් පඩි පෙළකි. මෙම පොකුණට ද, නාන තටාකයන්ට ද ජලය සපයා ගැනීමට හා පිට කිරීමට උපයෝගී කරගත් ශිල්ප ක්‍රම විශ්මය දනවන සුළු ය. එදා රජ දවස ඉංජිනේරු තාක්ෂණය මොන තරම් විශිෂ්ට ආකාරයට පැවැතියේ ද යන්න මේවායින් මොනවට පැහැදිලි වේ. මෙම රාජකීය උද්‍යානය තුළ ඇති ස්නානගාරයන්හි දි රජ පවුලේ උදවියට තමන්ට නිසි අයුරින් නෑමට ද, ජල ක්‍රිඩාවේ යෙදීමට ද පහසුකම් සලසා තිබුණි. තිසා වැවේ වැව් කණ්ඩියට යාබද නැගෙනහිර බිම් තීරුවේ රන්මසු උයන වෙයි. එය රජුගේ මඟුල් උයන ලෙස සැලකේ. මෙහි පොකුණු දෙකක් වෙයි. ඒවාට යාබදව කාමරයක් සහිතව තනා ඇති ගොඩනැගිල්ලේ වහලෙන් පොකුණට හා එම කාමරයට අතර ඇති කොටසට ජල මාර්ගයක් වෙයි. එයට ජලය ලැබෙන්නේ තිසා වැවෙනි. මේ වන විට එය ක්‍රියාත්මක නොවේ. මෙම පොකුණුවල ජල ක්‍රිඩාවල යෙදුණු ඇතුන්ගේ හා නෙළුම් පඳුරුවල කැටයම් වෙයි. මේ අනුව බලන කළ රන්මසු උයන විශිෂ්ටතම නිර්මානයකි. නමුත් එය කවුරුන් විසින් කරවන ලද්දක් බව තාමත් නිශ්චිත නැත. පසු කලෙක වනගහනයක්ව පැවැති රන්මසු උයන නැවතත් යථා තත්ත්වයට ගෙන එන ලද්දේ 1940 දී ය. මෙවැනි අද්විතීය නිර්මාණයක් පිළිබඳව මෙලෙස තොරතුරු නිතර ඉදිරිපත් වෙනවා නම් මෙම ස්ථාන ඒ අයුරින්ම පවත්වා ගැනීමට අවකාශය සැලැසේ. ස්වාභාවික පරිසරය උපයුක්ත කරගනිමින් තනන ලද මෙම උද්‍යානය ඇත්තන්ම රමණීය වේ.
               මෙම උද්‍යානය සියයට සියයක් සොබා දහමේ අපූර්ව නිර්මාණයක් නොවුණද එහි පවතින සොබා සුන්දරත්වය දශමයකින්වත් අඩුවක් නොවේ. මෙම උයන කවුරු කොහොම කෙසේ නිර්මාණය කළ ද ඒ සඳහා උපයෝගී කොට ගෙන ඇත්තේ ස්වාභාවික පරිසරයේ අපූරත්වයයි. මේ වන විටත් එහි නෂ්ටාවශේෂ හොඳින් දැක බලා ගත හැකි වුව ද මෙම උද්‍යානය අද වන විට ක්‍රමයෙන් පිරිහී යන බව පෙනේ. මෙම රන්මසු උයන නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ මෙන් ම මංගල උත්සවවල දී ඡායාරූප ගැනීමට පැමිණෙන පිරිස් ද මෙම උද්‍යාන භූමිය විනාශ කර දමමින් පවතී. මෙම භූමි ප්‍රදේශයේ සෑම තැනකම මෙන් පොලිතීන් හා කුණුරොඩු දමා අපවිත්‍ර කර තිබේ. එසේ ම මෙම ස්ථානයට අද වන විට සුදුසු ආරක්ෂණ ක්‍රමවේදයක් නොමැත. පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රකාශයක් සඳහන් කරමින් එල්ලා ඇති පුවරුවක් එහි දක්නට ලැබේ. එහි සඳහන් පරිදි
“දිවයිනේ කවර හෝ ස්ථානයක ඇති පුරාවස්තුවක් සොරකම් කිරීම, විනාශ කිරීම හෝ විකෘති කිරීම වසර දෙක සිට පහ දක්වා සිර දඬුවමක් හෝ රුපියල් පනස් දහසක් දක්වා දඩයක් හෝ එම දඬුවම් දෙකම හිමි විය යුතු ඇප නොදෙනු ලබන බරපතල වරදකි. පුරාවස්තු සොරා ගැනීමක්, විනාශ කිරීමක් හෝ විකෘති කිරීමක් පිළිබඳව දැනගත් වහාම 01-694727, 01-696514 යන දුරකථන අංකයකට හෝ ඔබ පළාතේ පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක (දුරඃ025-22411) පුරාවිද්‍යා නිළධාරියෙකුට, ප්‍රාදේශීය ලේකම්ට හෝ ග්‍රාම නිළධාරින්ට දැනුම් දී පුරාවස්තු සුරැකීමේ අගනා ජාතික මෙහෙවරට දායක වන්න.”
           
             මෙලෙස දැනුම් දීම් තිබුණ  ද මෙම උද්‍යානය ක්‍රමයෙන්  විනාශ මුඛයට ඇද වැටෙමින් තිබේ. රන්මසු උයන එකල සංචාරකයන්ගේ අවධානයට පාත්‍ර වී තිබුණ ද වර්තමානය වන විට ඒ සඳහා පවතින අවධානය අඩු වී තිබේ. උද්‍යානය නැරඹීමට පැමිණෙන පිරිස සීමිත අඩුවන අතර ක්‍රමයෙන් එය පහළ අගයක් ගනී. එසේ පැමිණෙන පිරිස අඩුවුව ද අපද්‍රව්‍යයන්ගෙන් කිසිදු හිඟයක් නොවේ. දිනෙන් දින මෙම කසල වැඩිවන නමුත් අඩුවීමක් නොමැත. කසල බහාලන බඳුන් තබා තිබුණ ද මිනිසුන් සිය බුද්ධිය ප්‍රකට කරන්නේ  බඳුනෙන් පිටතට කසල දැමීමෙනි. ඉහතින් දක්වා ඇති රූප රාමු මඟින් ඒ බව සනාථ වේ.  එමෙන් ම එකල පැවැති තුරුලතාවන් අද දක්නට නොලැබේ. මනරම් වූ භූමී භාගයක පිහිටා ඇති මෙම අද්විතීය නිර්මාණය හා ඒ හා බැඳුණු රන්වන් මසුන්ගෙන් සැදුම්ලත් පොකුණත්, ජල ක්‍රීඩා කරන ඇත් සමූහයත්, වර්ණවත් වූ පුෂ්පයන් හා විවිධ තුරුලතාවන්ගෙන් සමන්විත වූ මෙම අලංකාර උද්‍යානය සුරක්ෂිත කිරීම අප සතු වගකීමක් මෙන් ම යුතුකමක් ද වන්නේ ය. එකල මෙම උද්‍යාන භූමිය තුළ පැවැති එම අසිරිය චමත්කාරය කාලයාගේ ඇවෑමෙන් මෙන් ම අපගේ නොදැනුවත්කම හා ඒ සඳහා දැක් වූ අවධානය බිඳ වැටීම යනාදිය නිසා පිරිහී යන්නට ඇත. නමුත් මෙම උයන අද පවතින තත්ත්වයෙන් හෝ පවත්වා ගැනීමට අප උත්සුක නොවන්නේ නම් අපට තව දුරටත් මෙවැනි උද්‍යානයක් නොමැති විය හැකි ය. අප සතුව පවතින මෙම පරිසරය සුරැකීම ඔබෙත් මගෙත් වගකීම් සහගත වැදගත් කාර්යයන් අතරින් එකක් වේ. 

සංඛපාල විහාරය

සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අටකළං කෝරළයේ, තඹගමු පත්තුවේ, සංඛපාල ග්‍රාම නිලධාරි වසමේ පි...