අම්පාර දිස්ත්‍රීක්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පියංගල ග්‍රාමසේවා වසමේ රජගල ඓතිහාසික කදුවැටියට නුදුරින් පිහිටා ඇති වර්තමානයේ දී පියංගල ආරණ්‍ය සේනාසනය නමින් ප්‍රකට මෙම ශේෂ කන්ද නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා භූමී අතරින් සුවිශේෂී වනුයේ ඓතිහාසික සාධක සහිත ගල්ලෙන් හතළිහක් පමණද පැරැණි දාගැබ් පොකුණු සෙසු පුරාවිද්‍යා ස්මාරක හා ඉපැරැණි ආදීවාසී චිත්‍ර සහිත ස්ථාන රැසක් පැතිරී තිබීම හේතුවෙනි. අම්පාරේ සිට නුවර පාරේ සැතපුම් 30ක් පමණ දුර ගොස් බක්කිඇල්ල, රජගලතැන්න පසුකර වම් පසට වෙන්නට පියංගල ආරණ්‍ය සේනාසනයේ නාම පුවරුව හමුවේ. අම්පාරේ සිට මහියංගනය, මහඔය, බිබිල යන බස්රථවලින් ද රජගලතැන්න, නුගේලන්ද යන බස්රථවලින්ද ගොස් බක්කිඇල්ල කඩමණ්ඩියෙන් බැස ටික දුරක් අම්පාර නුවර පාරේ ඉදිරියට යෑමෙන් පියංගල ආරණ්‍ය සේනාසන භූමීයට පැමිණිය හැකි ය. කටාරම් කොටා බ්රාහ්මීය අක්ෂර සඳහන් ලේඛන සහිත ලෙන් 26ක් පමණ භූමිය පුරා විසිරී ඇත. අතීතයේ කටාරම් කෙටූ ලෙන් කීපයක්ම වරිච්චි බිත්ති බැඳ කුටි බවට පරිවර්තනය කොට තිබේ. පළමුවෙන් හමුවෙන ලෙනේ බිත්ති බැඳ දාන ශාලාවක් ලෙසට සකස් කොට ඇත. එල්ලාවල මේධානන්ද හිමියන් මෙහි බොහෝ කාලයක් රැfඳමින් මෙම ලෙන්වල ඇති බ්රාහ්මීය අක්ෂර පිටපත් කොට පරිවර්තනය කර තිබේ. පියංගල ආරණ්‍ය සේනාසන පරිශ්‍රය තුළ ගල්ලෙන් 50ට වඩා වැඩි ප්‍රමාණයක් දැකගත හැකි ය.


ලෙන් වෙතට පිවිසීමට තනා තිබූ ගලින් කළ පියගැට මෙන් ම මඟ සලකුණු, පැරණි සක්මන් මළුව, පාද ලාංඡනය සහිත ශිලා පලකයන්, ස්ථුපයක් යැයි සිතිය හැකි කඩොලු ගොඩැල්ලක් පැරැණි ගල්කණු ආදිය ද මෙහි වන සෙනසුන පුරා ශේෂව පවතී. පුරාතනයේ මෙම පිවිතුරු වූ වන සෙනසුන සසර ගමන නතර කිරීමේ දැඩි වූ ද පිරිසිදු අධිෂ්ඨානයෙන් යුතු වූ යෝගාචර භික්ෂූන් වහන්සේ වැඩ සිටි ආරණ්‍ය සේනාසනයක්ව පැවැති බවට ප්‍රමාණවත් වූ සාධක සොයා ගැනීමට හැකි වී තිබේ. සසල හදවත නිසල කරවන ස්වභාවික පරිසරයක සොඳුරු වන පෙතක පිහිටියා වූ මෙම ලෙන්වල ගෙවන ජිවිතය තෘෂ්ණාවෙන් තොර වූ බහුභාණ්ඩිකත්වයෙන් තොර වූ සියල්ල අත්හැරීමට හැකි ජිවිතයකි. මෙම ආරණ්‍ය සේනාසනයේ ඇති ඇතැම් ලෙන්වල ඇති සෙල්ලිපි වැදගත් ඓතිහාසික තොරතුරු බොහෝමයක් හෙළි කරයි. මෙම ලෙන් ලිපි විමසීමේ දී ඉතිහාසයේ සැඟවුන තැන් නිරාවරණය වේ. ඒ ලිපි සමස්තයට අනුව දුටුගැමුණු රජතුමා රජිතා නම් බිසවක් සමඟ විවාහ වූ බව කියැවෙයි. අබිතිස්සා දේවිය ඇගේ මව බව ද පැහැදිලි වේ. තවද දුටුගැමුණු රජතුමට බිසෝවරු කිහිපදෙනෙක් සිටි බවත් අගමෙහෙසිය රජිතා බවත් මින් වටහාගත හැකි බව එල්ලාවල මේධානන්ද හිමියන් ප්‍රකාශ කරයි. එසේ ම දුටුගැමුණු රජතුමාගේ දියණිය ගැන ද තොරතුරු හෙළි වේ. ඇය නමින් අබිතිෂය නම් විය. මෙසේ විශාල තොරතුරු රාශියක් එම ලෙන්ලිපි මඟින් පැහැදිලි වේ. ඒ අනුව මෙම සෙහසුන රාජ්‍ය අනුග්‍රහය ලද පුදබිමක් බව සැලකිය හැකි ය. මෙහි ඇති මිහිඳු ලෙන නමින් හැඳින්වෙන ලෙන් කුටිය අඩි සියයකට වඩා දිගුවෙන අතර එහි උස අඩි 60 ට වඩා වැඩිය. පියංගල සෙනසුනෙහි දක්නට ඇති කුඩා ස්ථුපය පෙර පැවැති නටඹුන් වූ ස්තූපයක ශේෂය මත ඉදිකරන ලද්දකි. මෙය ප්‍රමාණයෙන් කුඩා වුවද මෙම වනගත පරිසරයට එක්කරන ලද්දේ චමත්කාරජනක දර්ශනයකි. එහි ම`ඵ පෙතේ සිට බහන් බිමෙහි පෙනෙනා නිල්ලෙන් පිරි අපූර්ව දර්ශනය සිත් සතන් ඇඳ බැඳ තබා ගැනීමට සමත් වූ මනරම් චිත්‍රයක් සේය.
එකල කුරිරු ත්‍රස්තවාදී උවදුරින් නිතරම පීඩාවට ලක් වූ මෙම පියංගල වන සෙනසුනෙහි කඳු ශිඛරය මත වූ ලෙන් කුටි සමීපයට පවා මෝටර් ප්‍රහාර එල්ල වී තිබුණි. එවැනි අනාරක්ෂිත තත්ත්වයක පැවැති නිසාත් සිවුපසය ලබාගැනීමට තිබූ දුෂ්කරතා නිසාත් මෙහි වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේලාට සෙනසුන අතහැර යන්නට සිදු විය. මෙසේ ඓතිහාසික වටිනාකමකින් යුත් ලෙන් ලිපි බොහෝමයක් ඇති මේ පුද බිම ආරක්ෂා කරගැනීම අපේ වගකීමකි. අනාගත පරපුරට ඉතිහාසය ගවේෂණය කිරීමට යමක් ඉතිරි කරදීම අප කළ යුත්තකි.
wedagath lipiyak....
ReplyDeleteඔව් ොඩක් අය මෙ ගැන දන්නේ නැහැ
Deleteඔව් ොඩක් අය මෙ ගැන දන්නේ නැහැ
Delete