සන්නිවේදන තාක්ෂණය හා මියදුණු ආධ්‍යත්මික සංවර්ධනය
යම් දෙයක ක්රමානුකූල වර්ධනයක්, වැඩිවීමක් සංවර්ධනය ලෙස සරලව හඳුන්වාදිය හැකිය- වචනාර්ථයෙන් ගත්විට මනා වු වර්ධනය සංවර්ධනයයි. ලොව මේ වන විට වැඩි වශයෙන් කතා බහට ලක්වන කාලීන විෂය ක්ෂේත්රයක් බවට මෙය පත් වී තිබේ. මෙම සංකල්පය වෙනත් විෂය ක්ෂේත්‍ර ගණනාවක සංකලනයකි. මූලික වශයෙන් ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, භූගෝල විද්‍යාව, දර්ශනය, සංඛ්‍යානය සහ සන්නිවේදන අධ්‍යයනය යනාදි විෂය ක්ෂේත්‍ර කිහිපයකම සංවර්ධනය ගැන න්‍යායිකව හා ප්‍රායෝගිකව සාකච්ඡා කර තිබේ. 20 වන ශතවර්ෂයේ මෙය ශාස්ත්‍රීය විෂය ක්ෂේත්රයක් ලෙස අධ්‍යයනය කිරීම ආරම්භ විය. සංවර්ධනය පිළිබඳ මුල් කාලීන විග්‍රහය වූයේ ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වීමයි. 1960 දශකයේ දී මේ පිළිබඳ අදහස් දැක්වූ ඩබ්ලිව් ඩබ්ලිව් රොස්ටෝ ප්‍රකාශ කර ඇත්තේ ආර්ථික වර්ධනය ඇති කිරීම සංවර්ධනය බවයි. නමුත් ආර්ථික වශයෙන් පමණක් රටක් සංවර්ධනය වීම විෂමතාවන් වර්ධනය කරන්නක් බව හඳුනාගනිමින් එයට නව අර්ථ නිරූපණයක් එකතු කරන ලදී. ඒ අනුව රටක් ආර්ථික වශයෙන් මෙන් ම ආධ්‍යාත්මික වශයෙන් මනා වු වර්ධනයක් පෙන්විය යුතු ය. එවිට සමාජ
විෂමතාව, සම්පත් බෙදියාමේ විෂමතාව හා දරිද්‍රතාවය වැනි තත්ත්වයන් පාලනය කළ හැකිය. විධිමත් සංවර්ධන ක්‍රියාදාමයක් තුළින් ලබන ආර්ථික සංවර්ධනයෙන් ජිවිතයේ ගුණාත්මක බව දියුණු කිරීම මෙහි අරමුණයි. මිනිස් ශ්‍රමය වඩාත් කාර්යක්ෂම කිරීමත් වැඩි දියුණු කිරීමත් එය උපරිම ලෙස ජාතික සංවර්ධනයට උකහාගැනීම සඳහා සන්නිවේදනය නව මානයකින් යොදා ගැනීමට ගත් උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස සංවර්ධන සන්නිවේදනය නම් සංකල්පය නිර්මාණය විය. එහිදී ආර්ථික හා කෘෂිකාර්මික සංවර්ධනය කරා මිනිස් ශ්‍රමය මෙහෙයවීම මෙන් ම මිනිසාගේ රුචිකත්වය, රසවින්දනය, විවේකය, පුද්ගල නිදහස හා ආධ්‍යාත්මික ගුණවගාව වර්ධනය කිරීමට මිනිසා පෙළඹවීමත් සිදු විය.
මෙහි දී අප සාකච්ඡා කරන්නේ භෞතික දියුණුවත් සමඟ අපෙන් ගිලිහී යන ආධ්‍යාත්මය පිළිබඳවයි. මෙරට සන්නිවේදන තාක්ෂණය ඉතා සීඝ්‍ර ලෙස වර්ධනය වී තිබේ. නමුත් එය සන්නිවේදන තාක්ෂණය සමඟ හුදකලා වූ අවස්ථාවාදී මිනිසුන් නිර්මාණය කර අවසන්ය. සන්නිවේදන තාක්ෂණය වර්ධනය වීමට පෙර අප ඒ සඳහා භාවිතා කළේ සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රමෝපායන්ය. කලක් සිට පැවැත එන සාම්ප්‍රදායික ජන සමාජයේ ම
වර්ධනය වූ එවැනි
ක්රමෝපායන් රැසකි. එම ජනතාවගේම කුසලතා මඟින් හදාවඩා ගත් මෙම ක්‍රම සහ විධි එදා පමණක් නොව අදද නූතන සන්නිවේදකයන් තම සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා ගන්නා ලදී. කෝලම්, නාඩගම්, සොකරි යනාදි ගැමි නාටක ද හූව, අණබෙරය, ජනවහර, ජන ගී, කැලෑ පත්තර, කවිකොළ හා ශාන්තිකර්ම යනාදි සන්නිවේදන ක්‍රම ඉතා ප්‍රබල ගණයේ පැවැතුණි. සරල සන්නිවේදන විධික්රම වන මේවා එකල ජනතාව තුළ විශ්වාසය ගොඩනගන්නට සමත් විය. සංස්කෘතිකව බැඳී තිබූ මෙම සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම මඟින් ජනතාව සහයෝගයෙන්, එකමුතුකමින් මෙන් ම සුහදත්වයෙන් බැඳ තබන ලදී. එමෙන්ම ඔවුන් මෙමගින් සංවර්ධන කාර්යය ඉටුකරන අතරම ඔවුන්ගේ විවේකය හා සතුට ප්‍රීති සුවය භුක්ති විඳින ලදී. අද මෙන් හුදකලා වූයේ නැත. සිය ජිවිතයේ සුඛ විහරණය පමණක් නොව අන්‍යයන් පිළිබඳවද නිතතින් සොයා බලන ලදි. මෙම සන්නිවේදන ක්‍රමවල පවතින රිද්මය ජන ජිවිතයේ රිද්මය හා අවියෝජනීයව බැඳී පවතී. එකිනෙකාට ඊර්ෂ්‍යා කිරීම, එකෙකු පරයා අනෙකා නැඟී සිටීම සහ අන්‍යයන් මුලා කිරීම මෙහි දක්නට නොලැබුණි.
එහෙත් මේ වන විට සන්නිවේදන තාක්ෂණය අතින් රට ප්‍රබල ස්ථානයක පවති. එමඟින් විශ්වයම සිය දෙපා මුලට ගෙන්වා ගැනීමට ඇති ශක්‍යතාව අති මහත්ය. සාම්ප්‍රදායික සන්නිවේදන මාධ්‍ය, නූතන මාධ්‍ය හා නව මාධ්‍ය දක්වා ක්‍රමයෙන් වර්ධනය වී තිබේ. ගුවන් විදුලිය, රූපවාහිනිය, සිනමාව, දුරකථනය හා පරිගණකය යනාදි ලෙසින් තාක්ෂණික උපකරණ විශාල වශයෙන් නිර්මාණය වී තිබේ. මෙම දියුණුවත් සමඟ පුද්ගලයා හුදකලා සත්ත්වයෙක් බවට පත් වී තිබේ. මුල් කාලීනව සඳහන් වූයේ මිනිසාට හුදකලාව විසීමට නොහැකි බවයි. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වී තිබේ. අද තම ස්මාර්ට් දුරකථනය සමඟ තනිවෙන පුද්ගලයාට තමා පවා අමතක වෙන ස්වභාවයට ලක් වී හමාරය. එමෙන්ම ඔවුන් තුළ පැවැතියා වූ මානුෂීය හැඟීම් කෙමෙන් වියැකී යන ලක්ෂණය ඉස්මතු වේ. සන්නිවේදන තාක්ෂණිය තුළ අතරමං වූ නවීන මිනිසා තම කුටුම්භ පවා අත්හැර දමයි. තම අඹු දරුවන් ගැන සිතන්නටවත් අවකාශයක් නොමැති තරමට කාර්යබහුල වී තිබේ. විශ්වයම අතැඹුලක් සේ තම සියතට ගැනීමට අන්තර්ජාලය භාවිත කරන මිනිසා එහි නව ලොවක් තනාගෙන එහිම ජීවත් වේ. ආධ්‍යාත්මික වු මානුෂීය හැඟීම් බෙදාහදාගන්නේ ද එම තාක්ෂණය මතිනි. ආදරය, සතුට, දුක, ප්‍රීතිය, විවේකය හා පුද්ගල නිදහස යනාදි මේ සියලු දේ සන්නිවේදන තාක්ෂණයට භාර දී අපි නෙත් අයා බලා සිටින්නෙමු. එදා සමාජයේ ආදරය අපූරත්වයෙන් වින්දනය කළ ආකාරයත් ප්‍රීතිය, සතුට සියල්ල එක්ව භුක්ති විඳි අයුරුත්, විවේකය මිත්‍රාදීන් එකතුව ගීයක මිහිරියාවක් සමඟ ගෙවා දැමූ ආකාරය අද සිහිනයකි. මන්ද මේ වන විට ඒ සියල්ල අපි සන්නිවේදන තාක්ෂණයෙන් අපේක්ෂා කරන නිසාවෙනි. අපට විවේකයක් ලැබූ සැණින් අප මුහුණු fmd; දිගහැරගන්නේ සන්තුෂ්ටියෙන් විවේකය ගත කරන්නටය. හුදකලාව තනිව භුක්ති විඳින සන්තුෂ්ටියට වඩා සියලුදෙනා එක්ව සමරන සතුට මෙතකැයි කිව නොහැක. තරුණ ප්‍රජාව මෙන් ම පාසල් දරුවන් පවා මෙම අගාධයට ඇද වැටී තිබේ. දෙමාපියන් හා කතාකිරීමට අවස්ථාවක් නැති තරම්ය. මිතුරන් සමඟ ප්‍රීතිවෙමින් සිනහාසීමටවත් අවස්ථාවක් නොමැත. මෙමඟින් සමාජ සහසම්බන්ධතා බිඳී යා හැකිය. සන්නිවේදන තාක්ෂණය අතින් ගත් කල මේ රට එක්තරා වර්ධන මට්ටමක සිටී. එය පුරවැසියාට කාර්යය පහසු කරන එක් මාර්ගයකි. සත්‍ය වශයෙන්ම එය යහපත්ය. නමුත් එයට ඇබ්බැහි වීමෙන් මිනිස් ආධ්‍යාත්මය සේදී යනු ඇත. භෞතික සම්පත්වලින් සුවිශාල සංවර්ධනයක් ලැබූවද ආධ්‍යාත්මික සංවර්ධනයක් නොමැති නම් එය සාර සංවර්ධනයක් නොවේ. මෙම දෙඅංශයම එක සේ වර්ධනය විය යුතු ය. එවිට එකිනෙක නොගැටී සමතුලිත සමාජයක් ගොඩනැංවිය හැකිය.
ගයානි රණතුංග
කැලණිය විශ්ව විද්‍යාලය